මීට පෙර රජය විසින් කෙටුම්පත් කළ කම්කරු නීති සංශෝධන පනත් කෙටුම්පත සමාලෝචනය සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ජුනි 02 වැනිදා කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
පනත සමාලෝචනය කිරීමට කමිටුවක් පත් කර සිටින බවත්, අදාල අන්තර්ගතය දැනුම් දීමෙන් පසු කැබිනට් මණ්ඩලයේ ඒ පිළිබද සාකච්ඡා කරනු ඇති බවත් අමාත්‍යවරයා මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් පැවසුවා.
එම මාධ්‍යවේදියා සිය ප්‍රශ්න විමසීමේදී පෙන්වා දුන්නේ සේවා නියුක්ති පනත මීට පෙර පැවති සියලු කම්කරු නීති අහෝසි කොට මනූෂ නානායක්කාර අමාත්‍යවරයා ගෙන එන්නට සූදානම් වූ තනි කම්කරු නීතිය ලෙස හැදින්වූ පනතක් බවයි. මේ වන විටත් සේවය අවසන් කිරිමේ පනත වැනි නීතිරීති නොතකමින් කර්මාන්තශාලා වසා දැමීමට රජය ඉඩ දී තිබෙන බවත්, මේ වන විටත් තනි කම්කරු නීතිය ක්‍රියාත්මක වන බවට වෘත්තිය සමිති චෝදනා කර ඇති බවත් ඒ අනුව මනූෂ නානායක්කාරගේ තනි කම්කරු නීතිය මේ ආණ්ඩුව යටතේ සම්මත කිරීමට බලාපොරොත්තු වන්නේද යන්නත් මාධ්‍යවේදියා ප්‍රශ්න කර සිටියා.
1923 සිට මේ දක්වා ව්‍යවස්ථාදායකය විසින් අනුමත කර ඇති කම්කරු අණපනත් 50ක් පමණ තිබෙන අතර ඒවායින් බොහොමයක ඇතුළත් ප්‍රතිපාදන වර්තමාන සමාජ, ආර්ථික, තත්වයන්ට හා වැඩ ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව හදුනාගනු ලැබ තිබෙන බව කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය නිවේදනයේ සදහන්.
ඒ අනුව, දැනට ක්‍රියාත්මක පනත් 13ක් අධ්‍යනය කර තනි සේවා නියුක්ති පනතක් සකස් කිරීම සදහා නීති කෙටුම්පත් සම්පාදක විසින් දළ පනත් කෙටුම්පතක් සකස් කර තිබෙනවා. එකී පනත් කෙටුම්පත නව රජයේ ප්‍රතිපත්තිය අනුව, තවදුරටත් සලකා බැලීම සදහා සහ සේව්‍ය- සේවක වෘත්තිය සංගම්වල අදහස් ලබාගෙන තවදුරටත් සිදු කළ යුතු සංශෝධන හදුනාගැනීම පිණිස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලද බව එම නිවේදනයේ සදහන් වෙනවා.
තනි කම්කරු නීතිය සම්මත කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙන්ම මෙරට ව්‍යාපාරික ප්‍රභූන්ගේද දැඩි ඉල්ලීමක් වෙනවා.

