ග්‍රෑන්ඩ් හයට් විකුණා දමයි! රනිල්ගේ වැඩසටහන ඉදිරියට ගෙනයෑමට අනුමැතිය

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ව්‍යාපෘතිය ඇතුළු දූෂණ චෝදනා එල්ල වූ ව්‍යාපෘති ගණනාවකින් සමන්විත කැන්විල් හෝල්ඩින්ස් සමාගමේ කොටස් අයිතිය අත්හැරීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලන සමයේ ආරම්භ කළ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.

ඒ අනුව, රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී පත් කරගත් ආයෝජන උපදේශන සමාගම වන ඩෙලොයිට් ටච් හමත්සු එල්එල්පී සමාගමටම රජය සතු කොටස් අත්හැර විකුණා දැමීමේ කටයුතු භාර දී තිබේ.

රනිල් වික්‍රමසිංහ රජය විසින් 2023 මාර්තු 14 වැනිදා අංක 23/0431/604/046 අංක දරණ කැබිනට් පත්‍රිකාව අනුව ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව සහ ලිට්රෝ ගෑස් ලංකා සමාගම සතුව පවතින කැන්විල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ කොටස් මහා භාණ්ඩාගාරය වෙත පැවරීමට අනුමැතිය ලබා දී තිබුණි. 2023 ජුනි මාසයේදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් හිල්ටන් හෝටලය අයත් වන හොටෙල් ඩිවලොපර්ස් සමාගම, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම, කැන්විල් හෝල්ඩින්ස්, සහ ලිට්රෝ ගෑස් සමාගම විකුණා දැමීම සඳහා උපදේශන සමාගම් තෝරා පත් කර ගනු ලැබීය.

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ව්‍යාපෘතිය සෙලින්කෝ සතුව තිබී රාජසන්තක වන දේපළක් වන අතර, එහි ආයෝජනය කරන ලද්දේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, සේවක අර්ථසාධක අරමුදල, ලිට්‍රෝ ලංකා ඇතුළු රජය සතු සමාගම්ය. කෙසේ වෙතත්, එම මුදල් අවභාවිත කිරීම පිළිබඳ බරපතල චෝදනා රාජපක්ෂ රජයට එල්ල වී තිබේ.

මෙම සමාගම යටතේ සිනෝලංකා හොටෙල්ස් ඇන්ඩ් ස්පා (ප්‍රයිවෙට් ලිමිටඩ්) සහ හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා (ප්‍රයිවෙට්) ලිමිටඩ් යන සමාගම් පවතී.

මේ පිළිබඳ ගෙන ඇති කැබිනට් තීන්දුව මෙසේය.

‘2011 වසරේ දෙසැම්බර් මාසයේදී සංචාරක/ ආගන්තුක සත්කාර ක්ෂේත්‍ර යේ ආයෝජනය කිරීඹ සඳහා කැන්විල් හෝල්ඩින්ස් සමාගම ස්ථාපනය කරනු ලැබ ඇත. එම සමාගමේ ආයෝජයක් වන ග්‍රෑන්ඩ් හයට් කොළම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සිනෝලංකා හොටෙල් ඇන්ඩ් ස්පා (පුද්ගලික) සමාගම ස්ථාපිත කර තිබේ. ‘රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ වැඩසටහන‘ යටතේ කැන්විල් හෝල්ඩින්ස් (පුද්ගලික සමාගමේ කොටස් අයිතිය බැහැර කිරීම සඳහාත්, එකී කාර්යය සඳහා ගනුදෙනු උපදේශක වශයෙන් ඉන්දියාවේ ඩෙලොයිට් ටච් හමත්සු එල්එල්පී සමාගම තෝරා ගැනීම සඳහාත් එවකට පැවති අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. එහෙත්. ඒ අනුව ඉදිරි පියවර ගෙන නොමැත. ‘ග්‍රෑන්ඩ් හයට්, කොළඹ‘ ව්‍යාපෘතියේ කටයුත අවසන් කිරීම සඳහා තවදුරටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක් පමණ (රුපියල් බිලියන 36ක් පමණ) අවශ්‍ය වනු ඇතැයි මේ වන විට ඇස්තමේන්තුගත කර තිබේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා තවදුරටත් අවශ්‍ය අරමුදල් එම සමාගමේ කොටස් හිමියන්ගෙන් හෝ ණය පූල්‍යකරණය සඳහා හෝ ලබා ගැනීමට පතින අපහසුතාව සැලකිල්ලට ගෙන, සමාගමේ කොටස් විකිණීමේ ක්‍රියාවලියක් හරහා අවශ්‍ය අරමුදල් සලසාගෙන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කරගෙන වාණිජමය මෙහෙයුම් ආරම්භ කිරීම වඩාත් යෝග්‍ය විකල්පය වශයෙන් හඳුනාගෙන ඇත. ඒ අනුව, කැන්විල් හෝල්ඩින්ස් (පුද්ගලික) සමාගමේ කොටස් අයිතිය බැහැර කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමටත්, ඒ සඳහා තවදුරටත් ගනුදෙනු පදේශක ලෙස ඉන්දියාවේ ඩෙලොයිට් ටච් හමත්සු එල්එල්පී සමාගමේ සේවය ලබා ගැනීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.‘

Author

Related Posts