නියෝජ්‍ය ඇමති ගමගෙදරට සංස්කෘතික පොලීසිය වැහිලා! අවුරුදු උත්සවයක් කරන්නත් බය හිතෙන කතා කියයි!

අවුරුදු සිරිත් විරිත්වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වළකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා අවුරුදු උත්සව සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු සඳහන් කළේ, අවුරුදු උත්සව විශේෂ අංගවලට අසභ්‍ය නොගැළපෙන දේවල් එකතු කිරීමෙන් රටේ සංස්කෘතිය සභ්‍යත්වය සහමුලින්ම විනාශයට පත්වන බවයි.

අවුරුදු සිරිත් විරිත් චාරිත්‍ර විශේෂාංග වලට නොගැලපෙන දේවල් එකතු කරන පිරිස් සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් පසුවන බව අමාත්‍යාංශය පවසනවා.

මේ අවසාන වාක්‍යය සියල්ලට වඩා විසුළු සහගතයි. දැඩි සැලකිල්ලෙන් පසුවෙනවායැයි කියන්නේ කුමක්ද? අවුරුදු උත්සව සහ අවුරුද්දර කරන දේවල් දෙස ඔවුන් ඔත්තු බලමින් සිටින බවද? එවැනි දෙයකට රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් සිටින බවද? සංස්කෘතික අමාත්‍යාංශය වැනි එකක කාර්යභාරය ඒකද?

මේ නියෝජ්‍ය ඇමතිලා කට තියෙන පළියට සභ්‍යත්වය ගැන කියෙව්වාට මිනිහාගෙන් ප්‍රශ්න දෙකක් ඇහුවානම් ඔය සභ්‍යත්වය කියල අදහස් කළේ මොකක්ද කියන එක ගැනවත් හරිහමන් අදහසක් නැතිව ඇති.

සභ්‍යත්වය කියන්නේ මොකක්ද? සුද්දා මෙරටට හඳුන්වාදුන් වික්ටෝරියන් සදාචාරයද? නැත්නම් පැරණී දේශීය සදාචාරයක්ද? ඒ සදාචාරයේදී ඔවුන් සභ්‍යත්වය කියා සොයන්නේ කුමක් ගැනද? ගතානුගතික මිනිස්සු සදාචාරය කිව්වාම අන්තිමේ හොයා තියෙන්නේ ගැහැණු අඳින ඇඳුම් ගැන. උඩුකය නිරුවත්ව හෝ ඉතා සරාගී තනපටක් පමණක් ඇන්ද පැරණි ලාංකික සමාජය අපේ සභ්‍යත්වයද? අන්තිමේ ගත්තාම ඉතා සරාගී ඇඳුමක් වන හැට්ටය සහ චීත්තය ඇඳීමත් සභ්‍යත්වයට විරුද්ධද? සභ්‍යත්වයට අනුකූල ඇඳුම් මොනවාද?

ඊළඟට සභ්‍යත්වය කියන්නේ අවුරුදු ක්‍රීඩාවක නම වෙනස් කිරීමද? කිරි කැවීමේ ක්‍රීඩාවට යෝගට් කැවීමේ ක්‍රීඩාව කියා වෙනස් කළොත් එය විකෘතියක්ද? අලියාට ඇහැ තැබීම වෙනුවට වෙන මොකෙක්ට හෝ ඇහැ තබනවායැයි කීම සභ්‍යත්වයට විරුද්ධද? මේ සියල්ල අලුත් අවුරුද්දේදී තරුණ තරුණියන් විනෝදය පිණිස කරන දේවල්.

අවුරුද්දේ අරමුණ ක්‍රීඩා, සාද, විනෝදය පිණිස උත්සව පැවැත්වීම මිස අන් කිසිවක් නෙවෙයි. ඉතින්, සංස්කෘතික නියෝජ්‍ය ඇමතිලා ඇවිත්, අපි බලාගෙන ඉන්නේ කරන දේවල් කියා කිව්වාම විනෝද වෙන්නට නිදහසක් කොයින්ද?

අද තරුණ පරම්පරාව අවුරුදු ක්‍රීඩාවක්වත් කරන්නට පෙළඹෙනවාද? මේ සභ්‍යත්ව කතන්දර ගෙනැවිත් ඔලුවට උඩින් අත්හැරියාම? මේ වගේ ප්‍රවෘත්ති දැක්කාම ‘ඕන්නෑ බං අවුරුදු උත්සව කරන්න. මොන ලෙඩක් වැටෙයිද දන්නෑ ඕවා කරන්න ගිහින්‘ කියා කියාවි.

සංස්කෘතික අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශයක් මෙවැනි කතා කිරීම මීට පෙර ආණ්ඩු විසින් සිදුකළ බොළඳ සහ විකාර සහගත ක්‍රියාවක දිගුවක් ලෙසින් සැලකිය හැකියි. සංස්කෘතිය රැකගන්නේ ඇමතිලා නෙවෙයි. සංස්කෘතිය කියන්නේ ඒ ඒ කාලවල සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ තව බොහෝ දේවල් මත සමාජය විසින් වෙනස් වෙමින් ඉදිරියට න දෙයක්.

සමාජයක් විනෝද වීමේදී විවිධාකාරයෙන් නිර්මාණශීලී සහ රසවත් දේවල් කිරීමට උත්සාහ කිරීමේ කිසිම වරදක් නෙවෙයි. අවුරුදු උත්සවයක් කරද්දී අවුරුදු ක්‍රීඩාවක නම වෙනස් කිරීම හෝ අවුරුදු ක්‍රීඩාව කරන අන්දම වෙනස් කිරීම කිසිදු වරදක් නෙවෙයි. ඇත්තටම තම තමන්ට විනෝද විය හැකි ආකාරයට හැඩගස්වාගෙන ඒ සතුට විඳීම කිසිදු වරදකුත් නෙවෙයි.

රතිඤ්ඤා දානකොට ප්‍රවේශම් වෙන ලෙස හෝ සාදවලදී මත්පැන් බී රිය නොපදවන ලෙසට උපදෙස් දීම රජයේ වගකීමක්. මෙවැනි සංස්කෘතික අවස්ථාවක සමාජ ප්‍රගමනය උදෙසා රාජ්‍ය මැදිහත්වීමෙන් විවිධාකාර වැඩසටහන් සංවිධානය කිරීමත් සිදුවිය යුත්තක්. ඒත්, අවුරුද්දට විනෝද වෙන තරුණ තරුණියන්ව බියගන්වන්න ඇමතිලා අපැහැදිලි ප්‍රකාශ නිකුත් කිරීම නම් විහිළුවක්.

Author

Related Posts