ජනපතිගේ අවුරුදු සුභපැතුමෙන් මතු වූ ප්‍රධානම කරුණු 7ක්!

සුභ අලුත් අවුරුද්දක් වේවා! අවුරුදු නැකත් අස්සේ අපේ ඔන්ලයින් ප්‍රජාව කලාත්මාගේ කමෙන්ට් සෙක්ෂන් එකේ ගොසිප් කියෙව්වා. එයින් පැනනගින බොහෝ දේවල් ගැන ගැඹුරු සංවාද කළා. ඒ ඉවරවෙද්දී මෙන්න යකෝ දේශබන්දු තෙන්නකෝන් ගෙදර කිරි උතුරවන ෆොටෝ එකක් ඇවිල්ලා.

ඕවා මේවා අස්සේ ජනාධිපති අනුර කුමාර දිසානායක සිය නිල අලුත් අවුරුදු සුභ පැතුම නිකුත් කළා. ඒ ගැන කියන්න දෙයක් තියෙනවා. 

සාමාන්‍යයෙන් ආණ්ඩුවකට ගොට්ට අල්ලන එක හොඳටම වැඩි වුණොත්, ජනාධිපතිගෙ අලුත් අවුරුදු සුභපැතුමත් මාරයි කියලා වන්දිභට්ටකම් වර්ණනා ලියැවෙනවා. දැන් කරන්න යන්නේ ඒක. ඒ වෙන කරන්න එකක් නැති හින්දා නෙවෙයි. ඇත්තටම ආණ්ඩුවට ගොට්ට අල්ලන නිසාත් නෙවෙයි. වෙනදාට වඩා මෙදා රටේ රාජ්‍ය නායකයා මෙවැනි ජාතික උත්සවයකදී කියන්නේ මොකක්ද කියන එක හරිහැටි තේරුම් ගැනීම වැදගත්. ඒ නිසා අනුර වර්ණනාවක් නෙවෙයි, ඒත් රටේ රාජ්‍ය නායකයාගේ අවුරුදු සුභ පැතුම තේරුම් ගැනීමට උත්සාහ කරමු. අපි මේ වැඩේ වෙනුවෙන් ජනාධිපතිවරයා සිය සුභපැතුමේදී මතු කරන ප්‍රධාන තේමා හතක් හඳුනාගත්තා.

  • ජාතික අභිවෘද්ධිය සහ අලුත් කිරීම

ජනාධිපතිවරයාගේ අවුරුදු සුභ පැතුම පටන් ගන්නේ, ‘භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන’ කියන වචන එක්ක. ඒ අනුව ඔහු මුලින්ම අවධාරණය කරනනේ අලුත් වීම. පහුගිය දවස් ගණනාවක් තිස්සේ අපිත් අපේ අදහස් දැක්වීම් තුළ නිතරම අලුත් වීම අවධාරණය කළා. ඒ ඇයි? 

අලුත් වීම අපේ සමාජයට ඕනෑ. අනිවාර්යයෙන්ම. අපේ සංස්කෘතියට, සාහිත්‍යයට, ජනමාධ්‍යකරණයට, ආගමික කටයුතුවලට ආදී සියලු දේවල්වලදී අපි අපේම සමාජය අලුත් කරන්න ඕනෑ. මෙතෙක් කල් රැකගත්ත බොහෝ දේවල් අලුතින් ගොඩනගන්න අපේ පරම්පරාවට හැකි වෙන්න ඕනෑ.

ඒත්, මේ අලුත් අවුරුද්ද අස්සේ ජනාධිපතිවරයාගේ ඒ අලුත් වීමේ යෝජනාවෙන් ඇත්තටම සංකේතවත් කරන්නේ අප ගෝලීය වශයෙන් දැන් මුහුණදෙන අභියෝගය. එයට මූණ දෙන්නට නම් අපි අලුත් වෙන්නම ඕනෑ.

අප ආයාචනය කරමින් එක කරුණක් කියන්න ඕනෑ. ලෝක වෙළඳ පර්යාය, මූල්‍ය පදනම් වගේම ආර්ථික ක්‍රමය බිඳවැටිලා හමාරයි දෙයිහාමුදුරුවනේ. ට්‍රම්ප් අපට ගහපු බදු ප්‍රහාරය මාස තුනකින් කල් දැම්මා කියලා, ඒක ආයෙ හැදෙන්නේ නෑ. ලෝක වෙළඳ සිස්ටම් එක ඉවරයි. ලෝක වෙළඳ ක්‍රමය පදනම් වෙලාම තිබුණේ එම්එෆ්එන් කියන මූලික පිළිගැනීමත්, ලෝක වෙළඳ සංවිධානය වගේ ආයතනත් එක්ක. ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිම ඍජුවම එම්එෆ්එන් කියන සංකල්පය මරා දැමීමක්. (අපි එම්එෆ්එන් ගැන පැහැදිලි කරන සටහනක් ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්.)

වෙළඳ පර්යාය බිඳවැටෙද්දී ලෝක ආර්ථිකය ගැනත් පුරෝකථන කරන්න බැරි වෙලා. ලංකාවට ආපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පහුගිය සතියේ දාපු නිවේදනය බලන්න. ට්‍රම්ප් බදු ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දාපු නිවේදනය බලන්න. මේ සියල්ලේ තියෙන්නේ අවිනිශ්චිතතාවය. පුරෝකථනයක් කරගන්න බැරිකම.

වෙළඳ අර්බුදයත් කොවිඩ් වගේම තමයි. අප ඇතුළු රටවල් ගණනාවක් ලෝක ආර්ථික රටාව තුළ නව අභියෝග රැල්ලකට මුහුණදේවි. ඉතින්! දෙයියනේ මේ සිස්ටම් එක ඉවරයි කියද්දී ඒක ‘පරණ විදියට සිතීමක්‘ නෙවෙයි. ඒක ‘වාමාංශිකයන්ගේ ළදරු කතා‘ නෙවෙයි. ඒවා ‘එහෙනම් සමාජවාදය හදන්නද කියන්නේ?‘ කියලා ඇහුවාම නතර වෙන තර්කයක් නෙවෙයි. ලෝක ආර්ථික රටාවේ අවසානය යනු මේ වෙද්දී අප හමුවේ ඇති යථාර්තය. ඉතින්! මේ මොහොතේ අලුත් වීම වැදගත් වනනේ අන් කිසිවකට අදාලව නෙවෙයි.

හරි! ඒ අස්සේ ජනාධිපතිවරයා සිහිපත් කරනවා අපට මේ වෙද්දී අලුත් රටක් ගොඩනැගීමට තියෙන සිහිනය ගැන. එය අවංක ලෙසම වත්මන් ජනාධිපතිවරයාගේ සිත තුළ පවතින බව අප විශ්වාස කරනවා.

‘අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් හා යහපත් හා අලුත් දේශයක් නිර්මාණය කර ගැනීමේ සිහිනය වෙනුවෙන් අනවරත වැඩ අරගලයක යෙදෙමින් සිටින අවස්ථාවක‘ බව ඔහු කියනවා. ඒක ඇත්ත! ඇත්තටම අපි හැමෝටම ඕනෑ ඒක. වෙන කිසිදෙයක් නෙවෙයි. අපි අලුත් රටක් හදන්න ඕනෑ. අප තම තමන්ගේ ක්ෂේත්‍රවල ඉඳගෙන ඒ වෙනුවෙන් නොනැවතී, වෙහෙස වී වැඩ කරන්න ඕනෑ.

රට හදලා අපේ දෙපා මුලට ගෙනත් දෙනකල් ඉන්න බෑ. පුළුවන්නම් රට හදලා පෙන්නපං කියලා එදිරිවාදී හැඟීම්වලින් කුලල් කාගන්න බෑ. අපි හැමෝම ඒ වෙනුවෙන් නොනැවතී වැඩ කරන්න ඕනෑ.

  • ජනතා විශ්වාසය

‘පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය අප රට මෙවන් පරිවර්තනීය ඉසව්වකට කැඳවා ගෙන යාමට හේතු වූ බව අවධාරණය කළ යුතුය.‘ කියලා ජනාධිපතිවරයාගේ සුභපැතුමේ තියෙනවා. ඔහු යළි යළිත්, යළි යළිත් තම තමන්ගේ අදහස් දැක්වීම්වලදී එන තැනක් තමයි ඒ ජනතා විශ්වාසය කියන එක.

මා හිතන්නේ අනුරට ඇති වැදගත්ම අවිය තමයි ඒ විශ්වාසය. ඒ විශ්වාසය සංකේතවත් කරන දෙයක් වුණේ, අප මීට පෙර පුවතකින් පෙන්වාදුන් පරිදි මාර්තු මාසයේදී ලංකා ඉතිහාසයේ වැඩිම විදේශගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් හෙවත් මිලියන හයසිය ගාණක් අපේ විදේශ ශ්‍රමිකයන් විසින් එවීම.

  • රජයේ සැලසුම්

‘අභියෝග හමුවේ නොසැලි රට වෙනුවෙන් අපගේ වගකීම තවත් ශක්තිමත්ව ඉටු කිරීමේ ධෛර්ය වගකිව යුතු රජයක් ලෙස අප සතු අතර, භූ දේශපාලනය තුළ මෙන්ම ජාතික වශයෙන්ද රට ඉදිරියේ ඇති සියලු ආකාරයේ අභියෝග ජය ගැනීමට අවශ්‍ය සැලසුම් රජය මේ වන විට ක්‍රියාවට නංවමින් සිටියි. අගාධයට ඇද වැටී තිබු අප රට පසුගිය මාස කිහිපය තුළ නැවත ගොඩනඟමින්, ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් නව තලයකට ඔසවා තැබීමට අපි සමත් වූයෙමු.‘ යනුවෙන් ජනාධිපතිවරයා කියනවා.

ඔහු අවධාරණය කරන්නට උත්සාහ කරන්නේ, ගත වූ මාස කිහිපය තුළ දැවැන්ත පිබිදීමක් සිදු වූ බව අවධාරණය කරන්නට. ඇත්තටම, ඔවුන් බලයට පත් වීම දැවැන්ත පිබිදීමක්. කතා දෙකක් නැහැ. එහෙත්, ඔවුන් පත්වීමෙන් පසු මෙතෙක් සිදුව ඇති වෙනස්කම් නම් ජනතාව අපේක්ෂා කළ පරිමාවේ නැති බව පැහැදිලියි. සාමාන්‍ය යෙන් ජනතාව එහිදී හිත හදාගන්නේ තවම ඉක්මන් වැඩි බව කියමිනුයි. ජනතාව එහෙම හිතන එක සාධාරණයි. කාලය දෙන්න ඕනෑ.

ඊට අමතරව ඔහු ‘එම සියලු ජයග්‍රහණයන්හි හිමිකම මෙරට ජනතාව සතු වන‘ බව කියනවා. මතක තබාගත යුතුයි, අලුත් අවුරුදු කාලසීමාව මීට අවුරුදු තුනකට කලින් ලංකාවේ ජනතාව පාරට බැස අරගල කරපු බව අමතක කරන්න බැහැ. ඒ ජනතාවම පැරණි පාලකයන් පැරදවීම පිණිස වත්මන් රජයට ඡන්දය දුන්නා.  

  • සංස්කෘතික වැදගත්කම

‘මිනිසාත්, සොබාදහමත් අතර පවත්නා වූ භෞතික හා ආධ්‍යාත්මික ගනුදෙනුවෙහි අපූර්වත්වය අලුත් අවුරුදු චාරිත්‍ර-වාරිත්‍රවලින් නිරූපිතය. ඒවා සිංහල දෙමළ ජාතීන් අතර පැවති ‌ඓතිහාසික බැඳීම හා සහජීවන පැවැත්ම පිළිබඳ ජීවමාන සාක්ෂියකි.‘ යනුවෙන් ජනාධිපතිවරයා කියනවා.

අලුත් අවුරුද්ද කියන්නේ ආගමික උත්සවයක් නෙවෙයි. ඒ වෙනුවට ගොවිතැන, සශ්‍රීකත්වය සහ සමෘද්ධිය මුල් කරගෙන එයට අදාලව චාරිත්‍ර සිදුකරන උත්සවයක්. අස්වනු නෙළීම, ඒ එක්කම ක්‍රීඩා කිරීම සහ විනෝද වීම අපේක්ෂා කරන උත්සවයක්. එය බෞද්ධ පමණක් නෙවෙයි, අපේ කලාපයේ රටවල් ගණනාවක සංස්කෘතීන් ගණනාවක සමරන උත්සවයක්. පුදුවරුසම් කියා තමිල්නාඩුවේ සමරනවා. විෂු යනුවෙන් අපට බොහෝ සමානකම් ඇතිව කේරළයේ සමරනවා. පංජාබයේ වයිසාඛි යනාදී ලෙස ඉන්දියාවේ ගොවි සංස්කෘතීන් ගණනාවක් තමන්ගේ ක්‍රමවලින් මේ අවුරුද්ද සමරනවා. නේපාලයේ නායා බර්ෂා, බංග්ලාදේශයේ පොහෙලා බොයිෂාක් යනාදී ලෙස සමරනවා. තායිලන්තය, ලාඕසය, කාම්බෝජය, මියන්මාරය, චීනයේ යුනාන්වල වාගේ බොහෝ ගොවි ශිෂ්ඨාචාරවල මේ අවුරුදු සැමරීම් අඩු වැඩි වශයෙන් කරනවා.

අපේ සම්ප්‍රදායේ මීන සහ මේෂ කියන එක් රාශියකින් තවත් රාශියකට සූර්යයා ගමන් කිරීමයි අලුත් අවුරුද්දේ සමරන්නේ. අනෙක් පැත්තෙන් අස්වනු නෙළීමත්, වසන්ත සමයත්, ගොවියන්ගේ එක් කාලෙක වැඩ රාජකාරී අවසන් වීමත් එයින් සංකේතවත් වෙනවා. ගංගා නිම්නවල ගොවිතැනින් හැදිච්ච අපේ රටවල්වලට සමහරවිට ගොවිතැන් වැඩ රාජකාරී අස්සේ මඟහැරිච්ච පවුල් සම්බන්ධතා සහ අනෙක් සියලු සම්බන්ධතා ආපහු අලුත් කරගන්න මේ උත්සවය පාවිච්චි කළා. ක්‍රීඩා කරන්නේ යාළුකම් වැඩි කරන්න. ගනුදෙනු කරන්නේ සම්බන්ධතා වැඩි කරන්න. අලුත් ආරම්භයක් ගන්න. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ විශේෂයෙන් ඉස්මතු කරන්නේ සොබාදහම එක්ක සම්බන්ධයයි.

  • සමාජය බිඳී ඇත! භේද දුරලා එක්විය යුතුය!

ජනාධිපතිවරයා එයින් පසු අවධාරණය කරන්නේ, එකමුතු වීමේ වැදගත්කම. අප මේ වෙද්දී ජාතීන් වශයෙන් සහ දේශපාලන කඳවුරු වශයෙන් බෙදී සිටිනවා. අප මුලින් කීවා, සමහරු ඉන්නේ පුළුවන්නම් රට හදලා පෙන්වපන් කියලයි. සමහරු ඉන්නේ රට හදන්න නම් දෙන්නෙ නෑ කියලයි. ඒත්, මීට අවුරුදු තුනකට කලින් අලුත් අවුරුදු කාලේ ‘ගෝඨා ගෙදර පල‘ කියන තේමාවට රටම එකතු වුණා. ජාතිභේද නැතිව. අප ඒ ඒකාග්‍රතාව තබා ගන්නේ කොහොමද?

‘වත්මන් සමාජය විවිධ බෙදීම් හේතුවෙන් ඉරි තලා ගොස් ඇතත්, අලුත් අවුරුද්ද වැනි සැමරුම් සංස්කෘතීන් තුළින් යළි පෙන්වා දෙන්නේ එවන් භේද දුරලා එකමුතුකම, සමගිය හා සහජීවනය සුරැකීමට‌ය. එම සහජීවනය දිරිමත් කරමින් අනෙකා පිළිබඳ සංවේදී වන ආචාරධාර්මික පැවැත්මක් අප තුළම නිර්මාණය කර ගැනීම මෙම අලුත් අවුරුද්දේ අපට පැවරී තිබෙන භාරදුර වගකීමයි.‘

යනුවෙන් ජනාධිපතිවරයා කියනවා. ජාතිය ඒකාග්‍ර කරගැනීමට නම් විශේෂයෙන්ම ජනතාවගේ පැත්තෙන් සියලු ප්‍රශ්න දෙසට අවධානය යොමු කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැත්තෙන් නෙවෙයි. ලංකාවේ මූල්‍යමය සහ වෙළඳ බලවතුන්ගේ පැත්තෙන් නෙවෙයි. මිලියන ගණන් ජනතාවගේ පැත්තෙන් සංවේදීව කටයුතු කළ යුතුයි. ඒ අනුව අනිවාර්යයෙන් රට ඒකාග්‍ර කර ගැනීම ජනාධිපතිවරයාගේ වගකීමක්. ඒ වෙනුවෙන් පියවර ගැනීම ඔහුගේ වගකීමක්.

  • අභ්‍යන්තර වෙනසක්

‘එසේම, සූර්ය සංක්‍රාන්තියට අනුගාමීව සිදු කෙරෙන සියලු සිරිත්විරිත්හි පොදු අපේක්ෂාව වන්නේ ජන ජීවිත අලුත් කර ගැනීම හා පසුගාමී චින්තනයෙන් සහ ආකල්පවලින් තොර අලුත් මිනිසෙකු නිර්මාණය කර ගැනීමයි. අලුත් අවුරුද්ද සැබැවින්ම අපේ ජිවිතවලට නව ඇරඹුමක් වන්නේ අප එලෙස අලුත්වීම මගිනි.‘

මීට කලිනුත් අප අලුත් වීම ජනාධිපතිවරයා විසින් ඉස්මතු කළ බව පෙන්වා දුන්නා. මෙතැන ජනාධිපතිවරයා ඉස්මතු කරන්නේ අභ්‍යන්තර වශයෙන් අලුත් මිනිසෙක් බවට අප පත්වීම. රාජ්‍ය නායකයා විදියට මුළු රටෙන්ම ඉල්ලා සිටින්නේ අලුත් මිනිසෙකු නිර්මාණය කරගනිමු කියලයි. ඇත්තටම අප ඉදිරියේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ අලුත් මිනිසා කවුද? ඔහු සංස්කෘතික වශයෙන් කෙබඳුද? ඔහු සදාචාර වශයෙන් කෙබඳුද?

මේ අලුත් අවුරුද්දේ අපි කුමනාකාර නව මිනිසෙක් ඉල්ලා සිටින්නේද? කම්කරු අයිතීන්ගෙන් සුරක්ෂිත වෘත්තිකයෙක්. ජීවන වියදමෙන් මිරිකෙන්නේ නැතිව ජීවිතයක් ජනතාවට අයිතියි. විවේකය ජනතාවට අයිතියි. ඉහළ සංස්කෘතිකාංග- සිනමාව- සාහිත්‍ය රස විඳින්න අවශ්‍ය ඉඩකඩ ජනතාවට අයිතියි. ජාතිය මත කොන් නොවී ඉඳීම ජනතාවට අයිතියි.

අවුරුදු කටේ හැමෝම වගේ තමන්ගේ කෑම මේසය දුප්පත් නොවී තබා ගන්න වෙහෙසුණා. අලුත් ඇඳුමක් ගන්න වෙහෙසුණා.

අද අපි ඉන්නේ විදුලිය ඇතුලු බලශක්තිය, ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ නිවාස යනාදී මූලිකම දේවල් පවා නැතිවේවිද කියන බයෙන්. ආර්ථිකය ඒ තරමට අපව දුර්වල කරලා තියෙනවා. එවැනි පසුබිමක අපට හදාගන්න පුළුවන් අලුත් මිනිසා කවුද? ලාංකිකයන්ගේ එදිනෙදා ජීවිත හමුවේ අදටත් අපට ඇති අවිනිශ්චිතතාව, සැකය, බියජනක ස්වභාවය තුරන් කරවාගන්නේ කොහොමද? එය තුරන් නොකර, ආතතිය නැති නොකර අප අලුත් මිනිසෙකු නිර්මාණය කරගන්නේ කොහොමද?

අධ්‍යාපනය, සෞඛ්‍ය, බලශක්තිය, ප්‍රවාහනය, නිවාස සහ රැකියාවක් යනාදී මූලිකම  අයිතීන් සුරක්ෂිත නොකර වෙළඳපොලේ බිහිසුණු හස්තයට සියල්ල යට වී තිබෙන්නේ නම් අප අලුත් මිනිසා නිර්මාණය කරන්නේ කෙබඳු පසකද? අලුත් මිනිසා කවුද? මේ සියල්ලට උත්තර අප සෙවිය යුතුයි.

  • එකතු වෙමු!

අවසානයේ ජනාධිපතිවරයා ඉස්මතු කරන්නේ එක්වීමේ වැදගත්කම. මා හිතන්නේ අලුත් අවුරුදු සමයට පෙර ජනාධිපතිවරයා සර්වපාක්ෂික සමුළුවක් කැඳවමින් අනාගත ආර්ථික සැලසුම් හදාගන්න උත්සාහ කළා. ඒ සියලු පාර්ශ්වයන්හි ප්‍රතිපත්ති එක වාගේ බව අපේ අදහස. ඒ ප්‍රතිපත්තිය දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක කරන්නට ගොස් වැරදුණ යල් පැනගිය ප්‍රතිපත්තියක් බව අපේ අදහස. ජනාධිපතිවරයා එකඟතාව ඇති කරගන්න ඕනෑ ජනතාවගෙන් ප්‍රතික්ෂේපිත උක්ත දේශපාලන පක්ෂ සමඟ නොව ජනතාව සමඟ බව අප හිතනවා. ජනතාව නියෝජනය කරන්නේ කවුද? බහුජන සංවිධාන, වෘත්තිය සමිති, වෙනත් සංවිධාන, පොදුජන නියෝජිතයන්, මහජන ක්‍රියාකාරීන් මෙන්ම අරගල කරපු තරුණ පරම්පරාව ජනතාව නියෝජනය කරන බව අපි හිතනවා. සර්ව පාක්ෂික සමුළුවක් වෙනුවට එවැනි ජනතා නියෝජනයන් සමඟ සර්ව පාර්ශ්වයීය සමුළුවක් කළ යුතු බව අපි හිතනවා.  

ඒ අනුව, ‘රටට අවැසි නව ආර්ථික, සමාජයීය සහ දේශපාලනික පරිවර්තනයක් සාක්ෂාත් කෙරෙන ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගනිමින් රටත්, ජනතාවත් දිනවීම පිණිස මේ එළැඹෙන අලුත් අවුරුද්දේ තවත් සවිමත්ව, සහෝදරත්වයෙන් එකම අරමුණකට පෙළගැසෙන්නට මම සියලු දෙනාට ඇරයුම් කරමි.‘ යනුවෙන් ජනාධිපතිවරයා කියද්දී ඔහු දිගු කරන සහෝදරත්වයේ දෑත බාර ගන්නට ජනතාව සූදානම් බව අප හොඳින්ම දන්නවා. ඒ අත අත් නොහැර ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින ලෙස ජනාධිපතිවරයාට අලුත් අවුරුදු සුභ පැතුම් සමඟ කියා සිටිනවා.

ජනාධිපතිවරයා ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්‘ පතමින් සිය ශුභ ප්‍රාර්ථනය අවසන් කරනවා.

අපි එම සුන්දර ටැග්ලයින් එක ඔහුම සිහිපත් කළ නිසා, එය අවස්ථාවක් කරගනිමු.

එම නමින් ඔහුම ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණු තවමත් ක්‍රියාත්මක නොවූ දේවල් කිහිපයක් බලාපොරොත්තු සහගතව සිහිපත් කරන්නට.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ඇති කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, ජාත්‍යන්තර මූළ්‍ය අරමුලට රනිල් ඉදිරිපත් කොට සම්මත කරන ලද ප්‍රතිසංස්කරණ වැඩසටහන සංශෝධනය කිරීම, රනිල් තැනූ රටට අවාසිදායක ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් වෙනස් කිරීම, ණය විගණනයක් කොට ණය කොල්ලකෑ අය හෙළි කර ගැනීම, අවුරුදු දහයකටත් පරණ රාජපක්ෂ සමයේ සිදු වූ දූෂණ සහ අපරාධවලට අමතරව එක්ස්ප්‍රස් පර්ල් ගැන සෙවීම, අදානි- කංචන විජේසේකර ගිවිසුමේ කොමිස් ගත් අය සෙවීම, අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන ඒම, ටිරාන් අලස්ලාගේ වීසා මගඩිවල සිට පොරොන්දු වූ සියලු මෑතකාලීන දූෂණ සෙවීම, නන්දලාල් වීරසිංහලාගේ ඊපීඑෆ් කොල්ලය නැවත හැරවීම, සාධාරණ වැටුප්, ජීවන වියදම අඩු කිරීම, අසාධාරණ බදු වෙනස් කරමින් ඉහළ ධනවතුන් ගොඩගැසූ ධනය සාධාරණ ලෙස බෙදාහැරීම සහතික කරන නව බදු ක්‍රමයක් ඇති කිරීම මෙන්ම හොරා කා වෙළඳ පැළැන්තිය රටින් පැන්නූ ධනය නැවත ගෙන ඒම ඇතුලු බොහෝ දේවල් ඔහු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading