ගම්මන්පිල පිල්ලෙයාන් හමුවෙන්න ඉල්ලූ බව CID ආරංචි කියයි‍! එවැන්නක් නැතැයි ගම්මන්පිල කියයි!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුට ගෙන මේ වන විට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානයක මහතා අත්සන් කළ  දින 90ක රැඳවුම් නියෝගයක් යටතේ රඳවාගෙන සිටින ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමුවීමට ඇතැම් දේශපාලකයින් උත්සාහ දරන බව නිල නොවන ආරංචි මාර්ග පවසනවා.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සිය යූටියුබ් නාලිකාවේ පළ කළ විඩියෝවක් මඟින් සිදු කළ අනාවරණයක දැක්වෙන්නේ,  හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් පිල්ලෙයාන් හමුවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවයි.

කෙසේ වෙතත් පිල්ලෙයාන් හමුවීමට යනවාදැයි අප කළ විමසීමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ “එහෙම දෙයක්” නොමැති බව. ඔහු වැඩිදුර  කරුණු සාකච්ඡා කිරීමට පසුව ඇමතුමක් ගන්නා බව කීවත් පුවත පළකරන මොහොත දක්වා ඇමතුමක් ගත්තේ නැහැ.

මෙවැනි පසුබිමක පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු රැසක් අනාවරණවී ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා සිටියා.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2004 සිට 2006 දක්වා උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් පැහැරගෙන යාම සහ ඔහු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය ඇමතිවරයෙකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  අප්‍රේල් 8 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. එහෙත් එම විමර්ශනයට හෝ වෙන විමර්ශනයකට අදාලව අධිකරණය හරහා රිමාන්ඩ් බන්ධනාගාරගත නොකර ඔහුට එරෙහිව රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබුණා.

එම අතුරුදන්වීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව 2006 වසරේ විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී මහාචාර්යවරයා පැහැරගෙන ඇති බවට අනාවරණය වී තිබුණා.

පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනුණේ එම සිදුවීමෙන් වසර 19කට පමණ පසු ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading