ගෑණු නාන හැටි හොරෙන් බැලුවෙ කවුද? නෙට්ෆ්ලික්ස් ගිය පෙරුසු චිත්‍රපටියේ විචාරය!

තරිඳු උඩුවරගෙදර

සාමාන්‍ය ගැමි පවුලක් තමන්ගේ ගෙදර වැඩිහිටි පිරිමියාගේ අවසන් කටයුතු කරන්න සූදානම් වෙනවා. ඒත්, මේ පවුලට බරපතල ගැටලුවකට මුහුණදෙන්න සිද්ධවෙලා. ඒ, පිරිමියාගේ ලිංගේන්ද්‍රය විශාල වෙලා තිබියදීයි මියගිහින් තියෙන්නේ. තමන්ගේ පියාගේ දැවැන්ත ලිංගේන්ද්‍රය සඟවමින් අවසන් කටුයුතු කරන්න පුතාලා දෙන්නා වෙහෙසෙනවා. ඒ අස්සේ බිරිඳ, නෑනා මෙන්ම ලේලිලා දෙන්නාත් මේ වැඩේට සහයෝගය දෙන්න ලෑස්ති වෙනවා. කමලා නම් අසල්වැසි කාන්තාව මේ අය හංගන්න යන්නේ මොනවාදැයි මුල සිට අග දක්වාම ඔත්තු බලනවා.

පෙරුසු චිත්‍රපටිය ගැන ඔබ දැනගන්න ඕනෑ වැදගත්ම කාරණය මෙයයි. එය කිසිසේත්ම නෙළුම් කුළුණ චිත්‍රපටියේ දෙමළ චිත්‍රපටිය නෙවෙයි. නෙළුම් කුළුණ කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් චිත්‍රපටියක්. පෙරුසු කියන්නේ වෙනම චිත්‍රපටියක්. මේ චිත්‍රපටි දෙක සමාන වෙන්නේ උඩින් කී වාක්‍ය කිහිපයෙන් පමණයි. චිත්‍රපටි දෙකේම අසල්වැසි කාන්තාවගේ නම පවා කමලා.  

ශ්‍රී ලාංකික අධ්‍යක්ෂ ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කළ, දෙමළ සිනමාවේ කීර්තිමත්ම අධ්‍යක්ෂවරයෙකු වූ කාර්තික් සුබ්බුරාජ්ගේ ස්ටෝන් බෙන්ච් නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කළ පෙරුසු චිත්‍රපටිය මේ වෙද්දී නෙට්ෆ්ලික්ස් වෙබ් අඩවියෙන් නැරඹිය හැකියි. මීට පෙර ඇගේ ඇස අග කෙටි කාලයකට නෙට්ෆ්ලික්ස් ගිය නමුත්, ඇත්තටම පෙරුසු කියන්නේ නෙට්ෆ්ලික්ස් එකේ පැළපදියම් වෙච්ච ලාංකික අධ්‍යක්ෂවරයෙකුගේ පළවැනි චිත්‍රපටිය විදියට හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටියේ පෝස්ටරය එළිදැක්වුවේ කාර්ති, කමල් හසන්, සූර්යා, විජේ, විජේ සේදුපති මෙන්ම රැජිණිකාන්ත් එක්ක චිත්‍රපටි කරපු, එල්සීයූ හෙවත් ලෝකේෂ් කනගරාජ් සිනෙමැටික් යුනිවර්ස් එක හැදූ, දෙමළ සිනමාවේ මේ වෙද්දී සාර්ථකම අධ්‍යක්ෂවරයා අතිනුයි.

අපි මුලින්ම චිත්‍රපටි දෙකේ සංසන්දනයක් කරමු, ලාංකික ප්‍රේක්ෂකයන්ට එය වැදගත් නිසා. නෙළුම් කුළුණේ මියගොස් ඇත්තේ වලව්කාර පරම්පරාවකින් ඇවිත් දුප්පත් වූ, හරියට රැකියාව පැහැදිලි නැතත් ටිකක් ‘ගර්වයෙන් යුත්‘ රැකියාවක් කළායැයි සිතිය හැකි පැරණි මෝටර් රථයකත් හිමිකාරයෙක් වූ පියෙක්. පෙරුසු චිත්‍රපටියේ මියගොස් ඇත්තේ වඩු වැඩ කළ පියෙක්.

පුතාලා දෙන්නා අතර සම්බන්ධය සැලකුවත්, නෙළුම් කුළුණේ බාල පුතා අයියාට හොරෙන් මත්පැන් බොන, තුසිත ලක්නාත් නම් වූ විශිෂ්ඨ නළුවාගේ රංගනයෙන් හැඩ වූ වෙනස් චරිතයක්. පෙරුසු චිතප්‍රටියේ බාල පුතා වයිබව් රෙඩ්ඩි. වැඩිමල් පුතා සුනිල් රෙඩ්ඩි. මේ දෙන්නා ඇත්තටම තෙළිඟු සිනමාවේ රඟපාන සැබෑ ලොව සහෝදර දෙපළක්. දුරෙයි නම් බාල පුතා මත්පැනට ඇබ්බැහි වුණත් ඔහු අයියාට හොරෙන් බොන්නේ නෑ. අයියා පාසල් හෙඩ්මාස්ටර් කෙනෙක්. මෙහි පියාගේ නම හාලාස්‍යම්. ඒත්, මිනිස්සු ආදරේට කියන්නේ පෙරුසු කියලයි.

නෙළුම් කුළුණට සමානකම් පෙන්වන දර්ශනයක් දෙකක් තිබුණත්, පෙරුසු චිත්‍රපටියේ කතා ගලා යෑම පමණක් නොව අවසානය පවා සම්පූර්ණයෙන් තමන්ගේම වූ පාරක් සොයාගෙන තිබෙනවා. නෙළුම් කුළුණට වඩා සහාය චරිත ගොඩකින් මේ කතාව ගලා යනවා. විශේෂයෙන්ම බාල සරවනන්, මුනිෂ්කාන්ත්, දීපා ශංකර්, රෙඩින් කිංස්ලි සහ කරුණාකරන් චිත්‍රපටිය පුරවමින් කතාවට එක්වෙනවා. මෙතැනින් රෙඩින් කිංස්ලි සහ දීපා ශංකර් කියන දෙන්නාම නෙල්සන් දිලිප්කුමාර්ගේ අතිශය ජනප්‍රිය චිත්‍රපටිවල රඟපෑවා. කරුණාකරන් කියන්නේ ජිගර්තණ්ඩා ඇතුළු කාර්තික්ලාගේ දෙමළ නිව් වේව් සිනමාවෙන් ජනතාව හඳුනාගත් නළුවෙක්. මෙවැනි ජනප්‍රිය දෙමළ සිනමාවේ නිතර දකින සහාය නළුවන් ගණනාවකින් පිරී තිබෙන නිසා චිත්‍රපටිය සාමාන්‍ය දෙමළ සිනමා රසිකයන්ට ලෙහෙසියෙන් දිරවාගත හැකියි.  

තමිල්නාඩුවේ සමාජ සම්බන්ධතා වෙනස්. අවමංගල්‍ය චාරිත්‍ර වෙනස්. ඒ සමාජයත්, අපේ සමාජයත් එකම සිදුවීමකට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් විදිවලින්. ඒ නිසාම තමන්ගේම ආරකට ඒ චිත්‍රපටිය ගලා යනවා. නෙළුම් කුළුණේ නැති තරම් චරිත ගොඩක්, සිදුවීම් ගොඩක් මෙන්ම නිතරම කණ පුරා ඇහෙන පසුබිම් සංගීතයක් සහ ළඟ කැපෙන රූප දර්ශන ගොඩකින් චිත්‍රපටිය පිරී තිබෙනවා. දෙමළ රසිකයාගේ හාස්‍ය රසය ඉලක්ක කරමිනුයි එය තනා ඇත්තේ. සිංහල චිත්‍රපටිය නැරඹීම බෙන්ස් කාරයක නැගී, මඳ වේගයෙන් සුවපහසුවෙන් ගමන් කිරීමක් ‍නම්, දෙමළ චිත්‍රපටිය නැරඹීම ෆෙරාරියක නැගී අධිවේගයෙන් යනවා වාගෙයි. දෙකම අපූරු අත්දැකීම්. හැබැයි එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස්. රාම්ගේ හිස තුළ එකම සංකල්පයෙන් පැනනැගුණු එකිනෙකට වෙනස් චිත්‍රපටි දෙකක් තිබුණාය කියන එකත් හරිම විස්මිත සහ සුන්දර කාරණයක්.

පෙරුසු චිත්‍රපටිය අනිවාර්යයෙන් අතිශය සාර්ථකයි. එය ආරම්භයේ සිට වැඩිපුර බර තබා ඇත්තේ, ‘රෝන්චි‘ පාරක ගමන් කරන්නයි. හොලිවුඩ්වල පවා අධිවේගයෙන් ගමන් කරන ලිංගික හාස්‍යයක් ඇති චිත්‍රපටි අපි දකිනවා. දෙබස් සෑහෙන දුරට ලිංගික විහිළුවලට බර තබා තිබෙනවා.

එය  සිතාමතාම වාගේ, තමන් ඉදිරියේ ඇති කිසිම චරිතයක් ගැන ගැඹුරින් හිතන්නට ප්‍රේක්ෂක අපව පොළඹවන්නේ නෑ. නෙළුම් කුළුණ විවේකීව මියගිය පියා, ඔහුගේ බිරිඳ, පුතාලා දෙන්නා යන චරිත හතරම පිළිබඳ තද බැඳීමක් සහ අවබෝධයක් අපට ඇති කරවනවා. ඒ චරිත පිළිබඳත් ඔවුන්ගේ ජීවිතයත් ගැන යථාර්තයන් පෙන්වනවා. තාත්තා ගෙවා ඇති ජීවිතය. ලොකු පුතා සහ පියා අතර සම්බන්ධය, පොඩි පුතාගේ ජීවන දැක්ම මෙන්ම කෞෂල්‍යා ප්‍රනාන්දු ඉතා කෙටි දෙබස් කිහිපයක් විතරක් පාවිච්චි කරමින් ඉතා සියුම් ලෙස පෙන්වන සැමියෙකුට ජීවිතය කැප කළ බිරිඳක සැමියාගේ නොසිතූ අන්දමේ සමුගැනීම බාරගන්නා අනෙළුම් කුළුණේ තිබෙනවා. එමෙන්ම චිත්‍රපටියේ නමේ සිට සියලු අවස්ථාවලදී අපේ සමාජ, දේශපාලන ලෝකය පිරිමින්ගෙ අහවල්  එකේ බලය මත ගොඩනැගී තිබෙන අන්දම අපූරුවට සංකේතවත් කෙරුණා. ෆැලික් සිම්බලිසම් කියන්නේ ලාංකික දේශපාලනය තුළ නොතකා හරින්න බැරි දෙයක්. විශේෂයෙන්ම දීර්ඝකාලීනව මහින්ද රාජපක්ෂ කියන දේශපාලන ‘අප්පච්චිගේ‘ පුරුෂ පාලනයට යට වූ රටක් විදියට.

එහෙත්, තමිල්නාඩුව දීර්ඝකාලීනව පාලනය කළේ අප්පච්චි නෙවෙයි අම්මා. මහඇමතිනි ජයලලිතා. පියාගේ පුරුෂලිංගය එවැනි තියුණු සමාජ, දේශපාලන කියැවීමකට තල්ලු කරන්න ‍පෙරුසු උත්සාහ කරන්නේ නෑ. ඒ වෙනුවට පෙරුසු සිය නිදහස සොයා යන්නේ විනෝදයට බර රෝන්චි කොමඩි ශානරයට ගිහිනුයි.

අපේ ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව නිසා සංසන්දනය කළාට, නෙළුම් කුළුණත් පෙරුසුත් සංසන්දනය කිරීම චිත්‍රපටි දෙකට කරන අසාධාරණයක්. පෙරුසු වෙත හැරුණහොත්, ඔබට හමුවන්නේ ඉතා තියුණු පද පෙරැළිවලින් සිනහ උපදවන සිනා සාගරයක්. එකම අභියෝගයට තියෙන්නේ භාරද්වාජ් රංගන් කියන විචාරකයා කීවා වගේ, මේ චිත්‍රපටිය එක ජෝක් එකක් මත ගොඩනැගිච්ච ෆිල්ම් එකක්. මේ එක ජෝක් එක විවිධ චරිතවලට මුණගස්වන්නේ කොහොමද? මේ එක ජෝක් එක විවිධ සන්දර්භවලට දාන්නෙ කොහොමද?

ඇත්තටම රංගන් සිය විචාරය තුළදී මේ චිත්‍රපටිය තමිල්නාඩු දේශපාලනයේ සමහර ලක්ෂණ එක්ක සමපාත කර පෙන්වනවා. එකිනෙකට වෙනස් දේශපාලන බලවේග, අවිනිශ්චිත සහ ඉලක්කයක් නැති වෙලාවක දේශපාලනය කරන අන්දම ඔහු සිහිපත් කරනවා. ඉලෙක්ෂන් සහ ඉරෙක්ෂන් කියන වචන දෙක සමාන කරමින් ඔහු තමිල්නාඩු දේශපාලනයත් එක්ක පෙරුසු චිත්‍රපටිය සංකේතවත් කරන දේවල් ඉස්මතු කරනවා. එහෙත්, මා තමිල්නාඩු දේශපාලනයේ සිමුත් තැන් ගැන අවබෝධයක් නැති නිසා ඒ දෙස වැඩි අවධානයක් යොමු කරන්නේ නෑ.

අවසාන දර්ශන පෙළ තමයි චිත්‍රපටියේ නිර්මාණශීලීම මොහොත. තාත්තාගේ ලොකුම ලොකු එක පිළිබඳ ප්‍රශ්නය විසඳෙන්නේ නොසිතූ විදියකට. පියාගේ අනියම් පෙම්වතිගේ ආගමනයත් එක්කම පටන් ගන්නා ‘ක්ලයිමැක්ස්‘ ටෙන්ෂන් එක විසඳෙන්නේ නොසිතූ අනතුරකින්. ඒත්, අනතුර ඉවර වූ විගස කවුරුත් නොසිතූ විදියට තමන් මෙතෙක් පීඩා වින්ද ප්‍රශ්න අවසන් වෙලා. එකිනෙකට වෙනස් හේතු නිසා හැමකෙනාම සැනසුම් සුසුම් හෙළන්න ගන්න අන්දම අපූරුයි. නිර්මාණශීලීයි.

පෙරුසු චිත්‍රපටියේදී සියලු විහිළු මැද පරම්පරා වෙනසක් ගැන කතා කෙරෙනවා. චිත්‍රපටියට නොවැදගත් යැයි සිතන නවයොවුන් තරුණයෙකුගේ අතුරු චරිතයක් චිත්‍රපටියේ මුලදී අපට හමුවෙනවා. ඒ තරුණයා නරක වැඩක් කළායැයි පෙරුසු හෙවත් ගමේ වැඩිහිටියාගෙන් ගුටි කනවා. මේ තරුණයා චිත්‍රපටිය අවසන් වනතුරු ඉන්නේ ඒ වේදනාවෙන්. චිත්‍රපටිය අගදී මේ තරුණයා පෙරුසු හෙවත් වැඩිහිටියා ගැන වැදගත්ම හෙළිදරව්වක් කරනවා. ඒ තුළින් ප්‍රශ්න කිහිපයක් මතු කරනවා.

මේක අන්තර්ජාල යුගය. තරුණයන් ඔන්ලයින් අඩවිවල නම් ඇත්තටම කාන්තාවන් හිංසාවට ලක් කරන ප්‍රවණතා පවතිනවා. ඒත්, එදිනෙදා භෞතික ලෝකය තුළදී ලිංගිකත්වය ගැන තියෙන පිළිගැනීම්, වටිනාකම් වෙනස් වෙමින් පවතිනවා. වඩාත් ලිහිල් සහ නිදහස් දොරවල් විවර වෙනවා.

මියගිය වැඩිහිටියාගේ කතාවෙන් සෝපාහාසනේ පෙන්වන්න උත්සාහ කරන්නේ කුමක්ද? පිරිමින්ගේ ලිංගික ආශාව මෙන්ම පුරුෂමූලික බලය විසින් කාන්තාවන්ව පීඩාවට පත් කළේ, කන්තාවන්ට සූරාකෑවේ, කාන්තාවන්ව ලිංගික භාණ්ඩ විදියට සැලකුවේ ඒ පරම්පරාව නේද? පරම්පරාවෙන් පරම්පරාවට ගතානුගතික, අශිෂ්ඨ, පුරුෂවාදී හැසිරීම් ඒ පරම්පරාව තුළ තිබුණා නේද?

හරියටම කීවොත් ගෑණු නාන හැටි හොරෙන් බැලුවේ මොන පරම්පරාවද?

Author

Related Posts