සිංහල සිනමාවේ හොඳටම දුවන ෆිල්ම් එක!!

දුවන ෆිල්ම් එකක් හදන එක ලේසි නෑ. ඒත් Pradeep Dharmadasa හදන Kalana Gunasekara ලියන අයිස් ක්‍රීම් කියන්නෙ, ගැලරියේ මසාලා බයිස්කෝප් රසයත් එක්ක සෙට් වෙලා සුපිරියටම ‘දුවන’ ෆිල්ම් එකක්!! අයිස් ක්‍රීම් පටන් ගත්ත තැන ඉඳලම, දියවෙන්න ඔන්න මෙන්න තියන ජීවිත, දුවනවා.. දුවනවා.. දුවනවා.. දුවනවා..

“අයිස් ක්‍රීම් කියන්නෙ උණුසුමට ගල්වෙන, සීතලට දියවෙන ජීවිත ගැන කතාවක්”

අපි මේ ඉන්නෙ ත්‍රයිලෝක විජය පත්‍ර පවන් සලන, වෛර්ණ හීන පේන ලෝකෙක මිත්‍රයා. මේ ලෝකෙ මුදල් වෙනුවෙන් ඕනම බරපතල අවධානමක් ගන්න මිනිස්සු ඉන්නවා. සැළසුමක් නැතුව එක හුස්මට දුවන ඒ වගේ ජීවිත මේ ෆිල්ම් එක පුරා අපිට පේනවා. සීතල චරිත උණුසුම හොයාගෙන යන හැටිත්, උණුසුම් චරිත සීතල හොයාගෙන යන හැටිත් ටොක්කක් ඇනලා අපිට පෙන්නනවා මිත්‍රයා.

රසවත් අයිස් ක්‍රීම් එකක් නිසා මරණයක් වෙන හැටිත්, තවත් සිද්ධියක් නිසා ජීවිත වෙනස් වෙන හැටිත් මේ ෆිල්ම් එකේ සමාන්තරව පෙන්නනවා. ඕනෙ නම් මේ සමාන්තර ගැලපීම් ගැන හිතලා ගැඹුරු රසයක් විඳින්න පුළුවන් option එකකුත් Ice Cream Movie එකේ තියනවා.

Hemal Sachindra Ranasinghe (හේමාල්) සහ Aisharah Athukorala (අයිශාරා) සුසංයෝගය දැවැන්ත සිනමා තිරයට වඩාත් හොඳින් ගැලපෙන රූපකායන් දෙකක්. ඒ රූපකායන් දෙක අයිස් ක්‍රීම් එකේ උණුසුම වැඩි කරන්න ලොකු හේතුවක්. ඒත් අයිශාරා අපේ සිනමාව ඇතුලෙ නිතරම අපිට හම්බ වුණේ නැහැ. අයිශාරා කියන්නෙ තරුවක් වෙන්න ඉඳලා අම්මලගේ කීමට රට ගිය වර්ගයේ නිළියක්ද කියලත් වෙලාවකට හිතෙනවා. හ්ම්… ළබැඳියාවේ ගැටුමක් [Conflict of interest] ඇතිවෙන නිසා කැරලි කෙහෙරැලි [Curly hair] තියන නිළියො/නිරූපිකාවො/කෙල්ලො ගැන මම වැඩිය ලියන්නෙ නෑ.

හේමාල් කියන්නනෙ ආධුනික අතීතයක ඉඳලා රංගන අත්දැකීම් එක්ක ටිකෙන් ටික දක්ෂතා අතරට එමින් පවතින සුපිරි තරුවක්. ඔහුගේ මුල් කාලයත් එක්ක බලද්දි දැන් ඔහු හොඳ තැනක ඉන්නවා. ඒත් අයිස් ක්‍රීම් එකේ හේමාල්ගෙ චරිතයත් එක්ක, හේමාල්ගේ brand new අතීතයට හේමාල් විසින් අපිව ගෙනියනවා. තරුණ සුහුඹුල් වර්ජින් හේමාල් කෙනෙක්ව බලන්න කැමති හේමාල් ෆෑන්ස්ලා අනිවාර්යයෙන්ම “හේමාල්ගේ අයිස්ක්‍රීම් එක” බලන්නම ඕනෙ.

මේ ෆිල්ම් එකේ සමීප රූප රාමු වැඩි නිසා චරිතවල සියුම් රංගනයන් පවා අපිට මහා ලොකුවට පේනවා. එහෙම දකිද්දි සරත් කොතලාවල තමන්ගේ චරිතය උපරිමයෙන් කරලා, දුවන්න දෙනවා මිත්‍රයා!!

හරි!! දැන් හුරතල් වර්ණනා ඇති…

අයිස් ක්‍රීම් මාර්කටින් ප්ලෑන් එක හේමාල් වටේම කැරකෙනවා. මේක ළමයින්ටත් විඳින්න පුළුවන් ෆිල්ම් එකක් කියලා ප්‍රමෝට් කරනවා මම කිසි තැනක දක්කෙ නෑ. ඒත් මේ ෆිල්ම් එකේ තියන රිදම් එක සහ ආතල් සිද්ධි දිහා පොඩ්ඩොන්ට හිනා වෙවී කට ඇරගෙන ෆන් එකේ බලන්න පුළුවන්. ඊට අමතරව ළමයි ආස කරන්න අමුද්‍රව්‍යය ගොඩක් මේ ෆිල්ම් එක ඇතුලෙ තියනවා. එහෙම තිබිලත් ඒ මාර්කටිං ඔපචුනිටි එක මිස් කරගෙන තියනවා. ඉරකි තිතකි මිත්‍රයා! අඩුම තරමෙ Awantha Artigala (අවන්ත ආටිගල) ඇඳපු සුපිරි කාටූන්වලින් හදපු 2D සිද්ධි ෆිල්ම් එකට දාද්දිවත් එහෙම නොහිතුනේ ඇයි? අහෝ ඉරකි තිතකි!

ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ පොඩි ළමයෙක් අයිස් ක්‍රීම් ඉල්ලන තැනකින්. ඊට අමතරව පොඩ්ඩො ආස කරන ආතල් කුකුල් සිද්ධියකුත් තියනවා. “අයිස් ක්‍රීම්වලට කැමති හැමෝටම – අයිස් ක්‍රීම්” වගේ තේමාවකින් මේ ෆිල්ම් එක මීටත් වඩා නියමෙටම ‘ළමයින්ට’ විකුණන්න තිබ්බා. හරියට “චිකන් රන්” වගේ. ඒත් ඉරකි තිතකි!

ශ්‍රී ලංකාවේ සිනමාවේ මාකටිං න්‍යායට අනුව, ළමයි ඉලක්ක වෙන ෆිල්ම්ස් අතිශය සාර්ථක වෙනවා. දෙමව්පියන්ට ඕන යම් මුදලක් වියදම් කරලා දරුවන්ව සතුටෙන් තියන්න. ඒ මුදල දෙමව්පියන්ගෙන් අරගන්න සාස්තරේ ගොඩක් විශිෂ්ට අධ්‍යක්ෂවරුන්ට මගහැරෙනවා.

සාමාන්‍යයෙන් පවුලක ළමයි 1 – 3 අතර ඉන්නවා. එතනම ෆිල්ම් ටිකට් දෙකක්. මේ ළමයි ෆිල්ම් බලන්න යන්නෙ අම්මා එක්ක. ඔන්න දැන් ටිකට් තුනයි. ළමයි දෙන්නයි අම්මයි එක්ක තාත්තත් යනවා. ඔන්න දැන් ඔක්කොම ටිකට් හතරයි. නැන්දා, පුංචි අම්මා, බාප්පා, නෑදෑ වෙන අයියා අක්කා නංගි මල්ලි කෙනෙක් හෝ දෙන්නෙක් එකතු වුනොත් එතනත් බෝනස් ටිකට් අලෙවියක් වෙනවා.

මේ ටිකට් සාස්තරේ හොඳටම කරපු කෙනෙක් තමයි සෝමරත්න දිසානායක. මේ නිසා සෝමෙ මාමගෙ ටිකට් වාර්තා කඩන්න හරිම අමාරුයි මිත්‍රයා. අයිස් ක්‍රීම් එකට මෙන්න මේ ළමූන් ප්‍රමුඛ පවුල් සංකල්පය මූලික කරගත්ත මාර්කටිං පොයින්ට් එක මගහැරුණ එක අවාසනාවන්ත ඉරකි තිතකි!

සුන්දර භූමි දර්ශන, මුහුදු වෙරළේ දුර රූප, අහස සිපගන්න ගොඩනැගිලි පොකුරු, කොළඹ නගරයේ වයිඩ් ඩ්‍රෝන් ශොට්ස්, සුළඟේ යන තිර රෙදි, මීදුම පිරුණ පාරවල් සහ ජනාකීර්ණ පාරවල් වගේ ලස්සන outdoor වයිඩ් ශොට්ස් තමයි වානිජ සිනමාවෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ. ඒත් “මම බලපු සිංහල ෆිල්ම්ස් අතරින් වැඩිම සමීප රූප ප්‍රමාණයක් තිබුණ ෆිල්ම් එක තමයි අයිස් ක්‍රීම්”. නාගරික වතු ප්‍රජාවේ ජීවිතවල හිරවීම සහ රාමුගතවීම පෙන්නන්න හිතාගෙන මේ වගේ සමීප රූප රාමු ගෙනාවා වෙන්නත් පුළුවන්. ඒත් ඒකද වාණිජ සිනමාව?! ඉරකි තිතකි.

සාමාන්‍යයෙන් සමීප රූප වැඩිපුර භාවිත කරන්නෙ ටෙලිනාට්‍යවල. ටෙලිනාට්‍ය ෆ්‍රේමිං තියරි වලින් මැන්නොත්, අයිස් ක්‍රීම් රූප රාමු අති සාර්ථකයි. ඒත් මානව ඇස සහ මොළය, සිනමාවෙන් බලාපොරොත්තු වෙන ලස්සන outdoor වයිඩ් ශොට්ස් අයිස්ක්‍රීම් එකේ නෑ මිත්‍රයා, ඉරකි තිතකි! ඒත් මේක ටෙලිනාට්‍යයක් වුණා නම් කැමරාකරණයට සම්මාන පවා ලැබෙන්න තිබ්බා.

සමහර තිත්ත බෙහෙත් දෙන්නෙ මී පැණිවල ගිල්වලා අරගෙන. අන්න ඒ වගේ සිනමාවේ සමහර රූප රාමු ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕනෙ සංගීතය කියන මී පැණිවල ගිල්වලා අරගෙන. ඒත් මේ ෆිල්ම් එක පුරාවටම සංගීතයේ ඒකාකාරී බවක් තිබුන නිසා සමහර සිදුවීම් රසවත් කරන්න සහ හැඟීම් මතු කරන්න තිබුන අවස්ථා මගහැරිලා තියනවා. මේකෙ මියුසික් ස්කෝ එක චොර කියලා වැඩිහිටියන්ට තේරුනත් පුංචි ළමයින්ට නම් ඒ මියුසික් එකේ සුපිරි ආතල් එකක් තියෙයි.

අයිස් ක්‍රීම් එකේ සංස්කරණය, පසුබිම් සංගීත සංයෝජනය, “5.1” නාද ශික්ෂණය, තිර රචනයේ ක්‍රාෆ්ටිං, ලිප් සින්ක් ආදී අඩුපාඩුත් හදාගෙනම වැඩේ out කරා නම් තවත් හොඳයි. මහජන ප්‍රදර්ශනයට මුදා හරින ෆිල්ම් එකක මේ වගේ බේසික් අඩුපාඩු තියෙන්න ඔට්ටු නෑ. තිරය පිටුපස මොන ප්‍රශ්න තිබුණත් ප්‍රේක්ෂකයට ඒවා අදාළ නෑ.

ෆිල්ම් එකක් මහජන ප්‍රදර්ශනයට කලින් මාධ්‍ය දර්ශන, මිතුරු දර්ශන, විචාරක දර්ශන, ඇල්කොහොල් දර්ශන, ත්‍රයිලෝක විජය පත්‍ර දර්ශන ආදී වශයෙන් එකී මෙකී නොකී දර්ශන වාර කිහිපයක්ම පවත්වනවා. අයිස් ක්‍රීම් එකේ තිබුණ මේ අඩුපාඩු, ඒ දර්ශන වාර වලදී කාටවත් නොපෙනීම විශ්මිත කරුණක්.

ඒත් මම මේ කියපු කිසිම දෙයක් අයිස්ක්‍රීම් නොබලා ඉන්න තරම් දේවල් නෙමෙයි. විශේෂයෙන්ම පොඩ්ඩොත් එක්ක ගිහිල්ලා බලන්න පුළුවන් ජව සම්පන්න හාස්‍ය රසය පිරුන බයිස්කෝප් කුලකයට තමයි මම අයිස් ක්‍රීම් ෆිල්ම් එක දාන්නෙ.

මේක සිනමා ඉතිහාසයේ හොඳටම “දුවන” ෆිල්ම් එක කියලා මම කියුවෙ ඇයි? මේ ප්‍රශ්නෙට උත්තර දැනගන්න නම් අයිස් ක්‍රීම් බලන්නම වෙනවා මිත්‍රයා. ඉරකි තිතකි!

🟨🟨 ලක්මිණ රණසිංහ ©️

මෙම සටහන පළකිරීමට පෙර, මෙය කියවා අදහස් බෙදාගත් පහත නම් සඳහන් අයට ස්තූතියි.

✅ ප්‍රවීණ සිනමා විචාරක අජිත් ගලප්පත්ති Ajith Galappaththi

✅ සම්මානනීය ජ්‍යෙෂ්ඨ කැමරාශිල්පී රංගන SB Rangana Sb

✅ සම්මානනීය සංගීතඥ දිනේෂ් සුබසිංහ Dinesh Subasinghe

✅ ITN හිටපු සභාපති, නීතිඥ සුදර්ශන ගුණවර්ධන Sudarshana Gunawardana

✅ ප්‍රවීණ මාධ්‍යවේදී, ගීත රචක, ලේඛක වසන්ත දුක්ගන්නාරාල Wasantha Duggannarala

✅ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර Tharindu Uduwaragedara

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading