පාතාල වෙඩි කලබල මැද, පුවත් මවන්නේ නැතිව නික්ම ගිය කවියා! උපුල් සේනාධිරිගේ

ඇත්ත! උසාවියක් මැද්දේ පාතාල නායකයෙක්ට වෙඩි තබා මරා දැමීම තරම් කවියෙකුගේ මරණයකට ප්‍රවෘත්තිමය වටිනාකමක් නෑ.

එහෙත්, කිවියර උපුල් සේනාධිරිගේ පෙබරවාරි 20 වැනිදා අභාවප්‍රාප්ත වීම දුර ඈත කෙළවරක කලෙකින් නොදුටු මිතුරෙකුගේ සමුගැනීමක් විදියට මහත් වේදනාවක් අත් කර දුන් සිදුවීමක් වුණා.

උපුල් සේනාධිරිගේ මකරන්දයේ කවි ලියූ කවියෙක්. ඉඳුදුන්න නැමුණු තැන දක්වා කවි පොත් හයක් ඔහු පළ කළා. 2024 දී ඔහුගේ ඉඳු දුන්න නැමුණු තැන කෘතියට විදර්ශන සාහිත්‍ය සම්මානය ලැබුණා. ලියුම්කරුගේ මිතුරෙකු වන නිසා තැනක දෙකක උපුල් අයියා කියා ලියැවී තිබෙනවා. එය ගෞරවය පෙරදැරිව ලියූවක් බව සලකන්න.

විදර්ශන සාහිත්‍ය සම්මානයටත් වඩා වටිනාම සම්මානයක් උපුල් අයියාට ලැබී තිබුණේ 2015 දී රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නගෙන්. චතුර උපුල් සේනාධිරිගේට මොකක්දෝ උත්සවයකට එන්නැයි කියමින් දූරකථන ඇමතුමක් දී තිබුණා. උපුල් ඒ වෙද්දී තිබුණු ප්‍රශ්න ටිකක් කීවාලු. එයින් පස්සේ චතුර සේනාරත්න මෙසේ කියා තිබුණා.

“උඹලා යුද්දෙන් පස්සේ රටේ කරපු දේවල් මොනවද?උඹලා දන්නේ මොනවද?උඹලා යුද්දෙට මොනවද කලේ. උඹලා පොන්නයෝ.. ”

උපුල් සේනාධිරිගේට ඒ තරම් වටිනා සම්මානයක් කොයින්ද?

1960 දී උපත ලද උපුල් අයියා උපත ලැබුවා. ඔහුගේ දෑස් පෙනීම අහිමි වෙදදී ඔහුට වයස අවුරුදු 45ක්.

රාවයේ ලීව කාලයේ උපුල් අයියා නිතර ලියුම්කරු ඇමතූ හැටි සිහිපත් වුණා. ඔහු සිකුරාදාට අමතා, රාවයේ පළ වූ කවි ගැන අදහස් කියනවා. මා ලියූ ලිපිවල අඩුපාඩු ඇති තැන් කතා කරනවා. උපුල් අයියා පත්තරය සිකුරාදාම ගෙන්වාගෙන හිතවත් කෙනෙකු ලවා කිවාගන්නවා. එයින් පසු, අප ලියූ වාක්‍යවල අඩුපාඩු පත්තරය බලන්නේත් නැතිව කටපාඩමින් කියනවා. ප්‍රතිචාර දක්වනවා.

‘1960 වර්ෂයේ තිඹිරිගස්යායේදී උපන් උපුල් සේනාධිරිගේ දශක හතරක පමණ කාලයක සිට ලේඛනයේ නිරත වන්නෙකි. අසූව දශකයේ මුල් භාගයේ පුවත්පත්වලට ලිපි සම්පාදනය කරමින් ලේඛන දිවිය ඇරඹූ ඔහුට පුවත්පත් කවි පිටු අවකාශය නිරන්තරයෙන් වෙන් විය. දීර්ඝ අභ්‍යාස සමයකට පසු 2009 වසරේදී සේනාධිරිගේ කවියාගේ ප්‍රථම නිර්මාණ සමුච්ඡය එළිදැක්වීය. මේ දක්වා කාව්‍ය සංග්‍රහ පහක් ඔහු අතින් රචිතය. ඉඳු දුන්න නැවුණු තැන ඔහුගේ හයවන කවි එකතුව වේ.‘ මේ උපුල්ගේ කාව්‍යමය ඉතිහාසය ගැන සටහනකින් කොටසක්.

උපුල්ගේ බොහෝ කවි කාව්‍ය කෘතිවලටත් වඩා පත්තර පිටුවලිනුයි අපි දැක්කේ. ඒ කවි ක්ෂණික රසවින්දනයකට එහා ගිය ගැඹුරු කියවීමක් මෙන්ම ගැඹුරු සිතීමක් තිබුණු මනුස්සයෙකුගේ සිතිවිලි ලෙස අපට දිස් වුණා.

ඉඳුදුන්න නැවුණු තැන කියන යෙදුම ගැනම හිතමු. ඉඳුදුන්නට හෙවත් දේදුන්න නැවෙන තැනක් නෑ. මෙන්න මෙතැනිනුයි දේදුන්න නැවුණේ කියන්න බෑ. ඒක අඩ කවයක්.

මෙ මල් කළඹ ම නුඹ සතු

ඔබෙ අත් පසුරෙහි ම පැන නැඟ

කාලයේ වා රැලි අතර හිඳ

වසන්තය මෙන් ගිමත් කළ විඳ

ඔබේ පාමුල මිය යමි

එකදු කඳුළත් නොහෙළා ම ඔබ

පර සුවඳ ගැන නොවිමසා ඔබ

නවමු මල් කුලයකට උර දී

නොදත් සේ මුනිවත රකී

නිතින අත්පසුර ම පැතූ

මගේ කඳුළත් ඔබ සතූ

ඔබට පොහොණිව සසර අත්හළ

මෙ’මල් කළඹ ම නුඹ සතූ

  • උපුල් සේනාධිරිගේ (2013)

ඉඳුදුන්න නැවුණ තැන ගැනත්, තමන්ගේ කවි තුළ ඇති ප්‍රේමය ගැනත් වරක් ඔහු දිවයින පුවත්පතට මෙහෙම කීවා.

‘ප්‍රේමය කියන්නේ අවර්ණ අසංඛ්‍ය හැඟීමක්. එයට සීමා නෑ. නමුත් අද ප්‍රේමය උත්කර්ෂයට නංවන්නේ වෙනස් ආකාරයකට. එයට ලබා දී ඇත්තේ එක්තරා ආකෘතියක්. මාධ්‍ය තුළින් ලබාදෙන අර්ථකථන මෙයට බලපාල තියෙනවා. ජීවිතය යනු ගැහැනිය හා පිරිමියා අතර ගනුදෙනුවක්. එයට නියාමනයක් පනවනවා. එහි අග්‍ර ඵලය විවාහය යැයි අර්ථ දක්වනවා. මේ සියල්ල හදපු දේවල්. ප්‍රේමය කොන්දේසි විරහිතයි. එවන් ප්‍රේමයක් ගැන ඕෂෝ, ක්‍රිෂ්ණමූර්ති, බුදුන් කියලා තියෙනවා.

නමුත් බොහෝ වෙලාවට සිදුවන්නේ ප්‍රේමයට වටිනාකම් ලබාදී එය උත්කර්ෂයට නැඟීමක්. අප පුරුෂෝත්තම ඔළුව තුළ කාව්‍යමය භාෂාවක් තියෙනවා ගැහැනිය පිළිබඳ. එය ප්‍රේමය පිළිබඳ කටු ගොඩවල් සමුදායක්. මට මතකයි මං බලපු චෙකොස්ලොවැකියානු සිනමාපටයක්.එක්තරා ගමකට කෘමි විද්‍යාඥ මිනිසෙක් සහ ගැහැනියක් පැමිණෙනවා. මේ ගමේ ඉන්නවා ගොපලු තරුණයෙක්. ඔහු සොබාදහම හා බැඳුණු ලොවක ජීවත් වෙන්නේ. අවසානයේදී තරුණිය, ගොපලු තරුණයා අතර අසම්මුතික සම්බන්ධතාවයක් ඇතිවෙනවා. විවාහය ඉතා සරලව පැවැත්වෙන්නෙ. අද පවතින ප්‍රේමය තුළ මිල අධික විවාහ උත්සවවලට කොටුවෙන්න වෙලා තියෙනවා. මෙය ප්‍රාග්ධනය තුළ නිර්මිත දෙයක්. වර්තමාන ගීත අහල බලන්න කොයි තරම් ඕලාරික විදිහට ප්‍රේමය ගැන කියනවද කියලා. බොහෝවිට සිදුවන්නේ ගැහැනු ඉන්ද්‍රියයන් පිරිමි මනසට දාල බලන එක. එමිලි බ්‍රොන්ටෙගේ (Emily Bronte) වදරින් හයිට්ස් (Wuthering Heights) කෘතියේ එන හීත්ක්ලිෆ් සහ කැතරින් (Catherine) අතර ඇතිවන භාවාත්මක මාත්සර්යය සහ වෛරය… එය වෙනමම කියවීමක්. ඇනා කැරනීනා (Anna Kerenina) කෘතියේ ප්‍රේමය ශෝකාන්තයක්. වර්තමානයේ එවැනි කියවීම් නෑ, ප්‍රේමය ගැන.‘ඉඳුදුන්න නැමුණු තැන’ කවියේ මං කියන්නේ ඉඳුදුන්න ඉලිප්සයක් වූ නිසා එහි මධ්‍ය කේන්ද්‍රය සොයාගත නොහැකි බව. ඒ කියන්නේ ප්‍රේමය වදන් අතර ගිල්වලා විනාශ කරන දෙයක් බවට පත්වෙන්න බෑ කියන එක.‘

ඔහු ප්‍රේමය දුටුවේ පුදුම සෞන්දර්යයකින් පිරිච්ච දෙයක් විදියට. ලාල් හෑගොඩ කියන්නේ බොහෝ විට ගැඹුරින් ලෝකයට ප්‍රේම කළ කෙනෙක්. ඔහුට ප්‍රේමණීය ලෙස බොහෝ වස්තූන්ට පණ දෙන්න හැකි වුණා. රුවන් බන්දුජීවට ස්ත්‍රී සිරුර නොවූ වෙනත්තැන්වල ප්‍රේමණීය රාගික හැඟීම් ලියන්න හැකි වුණා. උපුල් සේනාධිරිගේ රාගමය නොවුණත්, වෙනත් ආකාරවලින් ප්‍රේමය කාව්‍ය තුළට ගෙනාවා.

එහෙත්, ඉඳුදුන්න නැවුණු තැන කාව්‍ය සංග්‍රහයේ බොහෝ අය කතා කරපු කවිය තමයි මහරගම ගැන කවිය. නගරයට මැහැල්ලකගේ වේශය ඔහු ආරෝපණය කළා.

කුණප සම ඉවත හළ
ලාබ වත්සුනු තැවරූ
මහලු බව වසාගත්
වරඟනකි මහරගම

පැරණි බිම් මහල් සිඳ
සතර අත සල්පිල්ය
බාල ලතු කොකුමඟර
නෙත අඳුන් ගැල්වු ලෙද
සුළුම මුදලට නතුවු
පුරඟනකි මෙ නුවර

කලක් මහරගම ජීවත් වූවකු ලෙස මහරගම ගැන මේ තියුණු සහ සජීවී කියැවීම පුදුම ලෙස දැනෙනවා. මහරගම හැදී තිබෙන්නේ වරින් වර එකිනෙකට නොගැලපෙන ලෙස ඉදි වූ ඉදිකිරීම් මැද. පමුණුවේ ලාබ සළුපිළි මෙන්ම වත්සුණුත් එක්ක මහරගමට පණ එනවා. රෝගී බව, මහලුකම පිළිකා රෝහලෙනුත් එන හැඟීමක්. ඒත්, විවිධ මිනිසුන් විවිධාකාරයෙන් තම තමන්ට ඕනෑ ලෙස පාවිච්චියට ගෙන අත්හැරිය කවුරුත් ගැඹුරින් ආදරය නොකළ තැනක් මහරගම. කවුරුත් ආදරයෙන් පිළිවෙලකට ගොඩ නොනැගු පුරවරයක් මහරගම. එය අපූරුවට ඔහු කවියට නගා තිබුණා.

උපුල් කියන්නේ, වාමවාදියෙක්. ඔහු වතාවක් තිඹිරියාගම බණ්ඩාර කළ සංවාදයකදී මෙසේ කියා තිබුණා.

‘මගේ පියා වමේ ක්‍රියාකාරිකයෙක්. සමසමාජෙ වතු රැස්වීම් අපට හොඳට පුරුදුයි. ඒ කාලෙ තාත්තත් එක්ක වැඩ කරපු ජෝර්ජ් පෙරේරා අංකල් තවම ජීවතුන් අතර ඉන්නවා. අපේ තාත්තා ලයනල් එදිරිසිංහගේ ගෝලයෙක්. හවසට සංගීත භාණ්ඩයක් වාදනය කිරීම ඔහුගේ පුරුද්දක්. වමේ ක්‍රියාකාරිකයෙක් වුණු විමල් අයියාගේ ඇසුර පතපොත කියවීමේ අභිරුචිය මා තුළ ඇති කෙරුවා. ‘සංස්කෘතික ජීවියෙක්’ නිර්මාණය වීමේ පසුබිමක් එහි තිබුණා.‘

දිවයිනට ඔහු වාම පසුබිම ගැන මෙසේ කියා තිබුණා.

‘සමාජවාදය ආරම්භ වන්නේ 1935 ලංකා සමසමාජ පක්ෂය ආරම්භ වීමත් සමගය. බි්‍රතාන්‍යයන් ලංකාව දාල යද්දි පැහැදිලිවම පන්ති සමාජ දෙකක් බිහිවෙලා තිබුණා. ප්‍රභූ පන්තිය සහ කම්කරු පන්තිය. මගේ තාත්තා ලිපිකරුවෙක්. එයා ඒ කාලෙ ක්‍රියාකාරී සමසමාජවාදියෙක්. අද පවතින තත්ත්වය බැලුවත් ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය , වතුකරය හෝ වෙනත් ක්ෂේත්‍රයන් ගත්තත් මූලික අයිතිවාසිකම් සියල්ල ලැබෙන තත්ත්වයක් නෑ. එදා පැවතුණු ගැටලු තාමත් තියෙනවා.

වාමාංශිකයෙක්ගෙ පුතෙක් හැටියට මා එය දකිනවා. පූර්ණ ජීවිතයක් ලැබීමේ ප්‍රශ්න අපි හැමෝටම තියෙනවා. ආහාර, සතුට, අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස, මේ හැම ආකාරයකම ප්‍රශ්න සමුදායක් තියෙනවා. ඒ පිළිබඳව පෙනී හිටියේ වාම ව්‍යාපාරය. අද වුණත් බලයට පැමිණි කණ්ඩායමට එහි මුල් පදනම තියෙනවා. දියුණු ධනේෂ්වර රටක වුණත් පුරවැසියාට ලංකාවට වඩා ගෞරවයක් වටිනාකමක් තිබෙනවා. අපට මෙහෙට ළඟා වෙන්න බැරි වුණේ ඇයි. වත්මන් අර්බුදවලට පෙර බංගලිදේශය හා ඒ හා සමාන වෙනත් රටවල්… උදාහරණයක් විදිහට වියට්නාමය, කොරියාව විශාල දියුණුවක් ලබල තියෙනවා. නමුත් අපට මේවා අහිමි වුණේ චෞර ධූරාවලියක් සහ පීඩිත ධුරාවලියක් සංඛ්‍යාත්මකව වැඩි වුණ නිසා. මේ තත්ත්වය කවියකු ග්‍රහණය කර ගන්නේ නැත්නම් පරාක්‍රම කොඩිතුවක්කු කවියා කියනවා වගේ ඒ කවි, කවි නෙවෙයි ..නයි. මේ සත්‍යය අපි ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක්. අපට ආධානග්‍රාහී දෘෂ්ටියකින් පෙන්වනවා, යුද්ධය සාධාරණයි ජාතිය බේරා ගත්තේ අහවලා කියලා. අපි එය තර්ක නොකර පිළිගන්නවා. උතුරේ වගේම දකුණේ තරුණයෝ ආයුධ අතට ගත්තෙ ඇයි කියලා හිතන්නෙ නෑ. ඉවසා ගත නොහැකි පරිපීඩිත භාවයක් තිබුණා කියලා අපට කියවා ගන්න බැරි වෙන්නේ ඇයි.

මෙවැනි තත්ත්වයන් මගේ නිර්මාණ තුළ ප්‍රචාරකවාදීව නැතිනම් ජනප්‍රියවාදීව නොව සැබෑ වාමවාදීව යටින් දිවෙන විදිහට ඉස්මතු කරන්න මම උත්සාහ කරනවා. ඉතින් ඔබ කිව්ව හරි. මගේ කවිවල තියෙන්නේ වාමවාදී දෘෂ්ටියක්.‘

ඉතින් වාමවාදී දෘෂ්ඨියකින් ලීව උපුල් සේනාධිරිගේ කවියා ජීවිතයෙන් සමුඅරන්. කවියන්ගේ සමුගැනීම සමාජයක් කම්පා කරන සිදුවීමක් විය යුතුයි. ඒත්, පෙනෙන විදියට බොහෝ කලබල මැද්දේ බොහෝ දෙනෙකුට හොරෙන් උපුල් සේනාධිරිගේ නික්ම යාවි.

Author

Related Posts