තරිඳු උඩුවරගෙදර
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 119ක් පමණක් ලබා සිටියදී සියල්ලන් දවා ගන්නට පාකිස්ථානය සමත් වුණා. ඒ අනුව තරගය තමන්ගේ අතට ගත් නමුත්, පිතිකරණයේදී පාකිස්ථානයටත් හඹා යෑම පහසු වුණේ නෑ. ලකුණු 113/7ක් පමණක් ලබා පාකිස්ථානය පරාජය වුණා. එය පාකිස්ථානය විස්සයි විස්ස ලෝක කුසලානයකදී හඹා යෑමට අසමත් වූ අඩුම ලකුණු ප්‍රමාණය.
සාමාන්‍යයෙන් ක්‍රිකට් තරගවලදී හඹා යෑම කරන්නේ පිත්තෙන්. ක්‍රිකට් පිත්ත මුල් වූ තරගයක්. එහෙත්, ඇතැම් සාපලත් දිනවල අපට හමුවෙනවා පන්දුයෙන් කරන හඹායෑම්. බිහිසුණු පන්දු යවන්නන්, එක එකා පන්දු යවන්නන්ව දඩයම් කරමින් දාම ඝාතකයන් බවට පත් වෙන තරග. ඉස්සර වැනි බිහිසුණු දාම ඝාතන පන්දු යවන්නන් වුණේ නුවන් කුලසේකරලා, ලසිත් මාලිංගලා. හිටිගමන් රංගන හේරතුත් කඩුල්ලෙන් කඩුල්ල දමා, අඩු ලකුණක ප්‍රතිවාදියා සිර කරමින් පිතිකරුවන් හඹා ගියා.
මෙදා පාර, ඉන්දියානු පිතිකරුවන් අසමත් වුණා. එහෙත්, පන්දුවෙන් ඔවුන් ජය හඹා ගියා. ලකුණු හයකින් ඉන්දියාව ජයගත්තා. ලෝග්න් අයිලන්ඩ් දෙදරන්නට ඉන්දියානු ප්‍රේක්ෂකාගාරයේ හඬ ඇසුණා. සුපිරි පිතිකරුවෙක් නොව, ජස්ප්‍රිට් බුම්රා ඉන්දියාව බේරාගත්තා.
විස්සයි විස්ස උද්වේගකර තරග රටාවක් විදියට මාකට් කරලා, එකෙත් වැඩිම පිරිසක් නරඹන දැවැන්තම තරගය හෙවත් සුපර්බෝව්ල් එකක් විදියට මාකට් කරලා ඉන්දියානු පාකිස්ථානු තරගය ප්‍රවර්ධනය කළාට පස්සේ මැච් එකට කලින් වැස්සාම කොහොමද?
ඊටත් පස්සේ මැච් එක පටන්ගත්ත වෙලාවෙ ඉඳන් විස්සයි විස්ස ක්‍රිකට් මාකට් කරද්දී කියනවා වාගේ අති දැවැන්ත හයේ හතරේ පාරවල් වෙනුවට, හයක් හතරක් නැති අහේනියක් වගේ මැච් එකක් බලන්න ලැබුණාම කොහොමද? ඇමෙරිකාවේ නිව්යෝග් නගරාසන්නයේ ලෝන්ග් අයිලන්ඩ්හි පැවැත්වුණ විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දු පාකිස්ථාන තරගය ඇත්තටම බලන්න වටින ත්‍රිලර් එකක් වුණා ලකුණු නැති ත්‍රිලර් එකක් වුණා.
අති දැවැන්ත ලකුණු ප්‍රමාණයක් සහ හයේ හතරේ පහරවලින් පිරුණ තරගවලට වඩා ක්‍රිකට්වල හැබෑ ලස්න තියෙන්නේ අඩු ලකුණු රැස්කරපු ත්‍රිලර්වල කියලා තමයි අපි හිතන්නේ. විශේෂයෙන් පාකිස්ථානයේ විකට් තුනක් හතරක් වැටෙද්දී මලානික වෙලා හිටපු ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ රිද්මයෙන් පිරිච්ච ඔල්වරසන් නාදය ඇත්තටම තරගය පාලනය කරන්නට ගත්තා.
ඉන්දියාව පටන් ගත්තේම එතරම් ශක්තිමත්ව නෙවෙයි. පළමු කඩුල්ල බිඳ වැටුණේ දෙවැනි පන්දුවාරයේදී. ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන ලොව භයානකම පිතිකරුවාව දවා ගන්නට සමත් වුණේ නසීම් ෂාහ්. භයානකම පිතිකරුවා කීවාට පස්සේ, නම කියන්නට දෙයක් නෑ, විරාට් කෝලිව.
ඇත්තටම එය නසීම්ගේ පන්දු විශිෂ්ඨත්වයට වඩා කෝලිගේ ටයිමින් අවුලක් නිසා ඇති වූ කැච් එකක්. උස්මාන් ඛාන්ගේ අතට ගිය කැච් එකක්.
එහෙත් ඒ ක්ෂණයෙන් ෂහීන් අෆ්‍රිඩි රෝහිත් ෂර්මාවත් දවා ගන්නට හැකි වුණා. ඒ ලොව අනෙක් භයානකම පිතිකරු.
ඒත් මොනවා කරන්නද? මේ ඇවිල්ලා ඉන්දියාව. භයානක පිතිකරුවන් එකෙක් යද්දී තව එකෙක් එනවා. රිෂ්බා පාන්ට් කොහොමත් බය නැති, තමන්ගේ අමුතු පහරවල් ක්‍රීඩා කරන්න පෙළඹෙන පිතිකරුවෙක්. ඔහු තමයි අක්සාර් පටෛල් සහ සූර්යකුමාර් යාදව් සමග ලකුණු ටිකක් එකතු කරන්නට සමත් වුණේ. එහෙත් පටෙල් ලකුණු 20ක් ලබා සිටියදී නැවත නසීම් ෂාහ් ඔහුව දවා ගත්තා. ඔය අතර සූර්යකුමාර් යාදව් එහා කඩුල්ලේ තබාගෙන පාන්ට් ක්‍රියාත්මක වෙන්නට පටන් ගත්තා. එහෙත්, යාදව් නැවත දැවී ගියා. ඩූබේ දැවී ගියා. ඒ සමගම මොහොමඩ් අමීර් රිෂ්බාහ් පාන්ට්ව දවා ගන්නට සමත් වුණා. ඒ සමගම ඊළඟ පන්දුවෙන් රවීන්ද්‍ර ජඩේජාවත් දවා හරවන්නට අමීර් සමත් වුණා.
හරිස් රාවුෆ් කඩුලු තුනක් ගත්තා. එහෙත්, ඇත්තටම ඔහුගේ පන්දු යැවීම තීරණාත්මක ලෙස තර්ජනාත්මක එකක් වුණේ නෑ. නසීම් ෂාහ්ගේ සහ අමීර් ඛාන්ගේ තීරණාත්මක පන්දු යැවීම විසිනුයි ඉන්දියාව සිර කර දැමුවේ.
මීට කලින් බාබර් අසාම් සහ රිස්වාන් 2021 දී එක කඩුල්ලක්වත් නොදැවී ලකුණු 151ක් හඹා ගොස් ඉන්දියාව පැරදූ හැටි අමතක කරන්න බැහැ. මෙදා පාර මොන ගේමක්ද? ලකුණු 120ක් විතරයි ඉලක්කය.
නැවත වතාවක් ඒ යුවළම පිටියට ආවා. ඉන්දියාව පන්දු යැවීම පටන් ගත්තේ සිරාජ් සහ පාණ්ඩ්යාගෙනුයි. මුලින්ම අසාම්ගෙන් අතට ලැබුණ උඩපන්දුවක් අතෑරුණා. සීරාජ්ටත් අතට ආ උඩ පන්දුවක් අතෑරුණා. හොඳම පන්දු යවන්නා වූ බුම්රාව මුලින් නොයැවීම රෝහිත්ගේ හොඳ තීන්දුවක් නෙවෙයි. කොහොම වුණත් මේ දෙන්නාවම දවා ගත්තේ බුම්රා. පාකිස්ථානයේ බිහිසුණුම පිතිකරු අසාම්ව දවා ගත්තේ සූර්යකුමාර් යාදව්ගේ උඩ පන්දුවකින් පස්වැනි පන්දුවාරයේදී. රිස්වාන්ව දවාගත්තේ අතිවිශිෂ්ඨ ස්වින්ග් කිරීමක් සමග 14 වැනි පන්දුවාරයේදී.
ඒ කෙසේ වෙතත්, ෆාකර් සමාන්ව දවාගන්නට රිෂ්බාහ් පාන්ට් ඇල්ලූ විස්මිත උඩ පන්දුව පාකිස්ථානු ප්‍රේක්ෂකාගාරය අවදි කරන්නක් වුණා. එතැන් පටන් ඉන්දියන් ප්‍රේක්ෂකාගාරය පුංචි නිලකුණු පන්දුවක් යැව්වත් විශාල ඝෝෂාවක් නගන්නට පටන් ගත්තා.
බාබර් අසාම්ගේ අඩි පාරේ යමින් ෆාකාර් සමාන්, උස්මාන් ඛාන් යන දෙදෙනාමත් ලකුණු 13 බැගින් ලබා හැරී ගියා. පාණ්ඩ්‍යා සමාන්ගේ කඩුල්ල ගත් මොහොතේත්, පාකිස්ථානය ලකුණු ලබන්න බැරි ලෙස හිර කරන්නට පටන් ගත්තාට පස්සේත් තමන්ගේ සුපුරුදු රඟපෑම් පටන් ගත්තා.
අවසාන පන්දුවාර තුනට තරගය පැමිණෙද්දී, පාකිස්ථානයට ලකුණු 30ක් ලබන්නට තිබුණා. බිහිසුණු බුම්රාට පන්දුවාරයක් ඉතිරියි. සිරාජ්ට පන්දුවාරයක් ඉතිරියි. පාකිස්ථානයට පන්දුව සීමාවෙන් එළියට යවාගන්න අසීරුයි. කොටින්ම කීවොත් සීරාජ්ගේ ෆ්‍රී හිට් එකෙන්වත් හතරේ පහරක් ගසන්නට පාකිස්ථානය අසමත් වුණා.
තරඟය මහ දවාලේ තිබුණු නිසාත්, ලෝන්ග් අයිලන්ඩ් ක්‍රීඩාංගණයේ හැඩය අති දැවැන්ත තරගයක හැඟීම හරිහැටි මතු නොකරපු නිසාත් මුල් මොහොතේ මේ තරගයේ දැවැන්ත බව දැනුණේ නෑ. ඒත්, තරඟය කවුරුන් දිනාවිදැයි නොදන්නා තරම් උණුසුම් වූ තරමට ප්‍රේක්ෂකාගාරය විසින් තරඟය කෙතරම් දැවැන්තදැයි හඟවන්නට පටන් ගත්තා.
ඉන්පසු, බුම්රාහ් අතිවිශිෂ්ඨ ඝාතකයාගේ, බිහිසුණු දාමඝාතක පන්දුවාරයක් යැව්වා. දුන්නේ ලකුණු තුනක් පමණයි. පාකිස්ථානුවන්ගේ ඇඟ හිරිවැටුණා නිසැකයි.
පැහැදිලිවම පාකිස්ථානයේ ආත්ම විශ්වාසය තිබුණේ අන්තිම දරුණු කඩාවැටීමක. ශ්‍රී ලංකාව මෙන්ම පාකිස්ථානයත් පිතිකරුවන් එකා පසුපස එකා අසමත් වීමත්, කිසිම කෙනෙකුට ඉනිමක් අනෙක් පැත්ත හරවන ආත්ම විශ්වාසය නැති වීමත් තරගය පරාජය වෙන්නට හේතු වුණා. ඇත්තටම බුම්රා විශිෂ්ඨ වුණත් ඔහු යැව්වේ පන්දුවාර හතරක් පමණයි. පාණ්ඩ්‍යා මඳක් අභියෝගාත්මක බව ඇත්ත. එහෙත්, පාකිස්ථානු පිතිකරුවන්ට ඒ පන්දු යවන්නන් හමුවේ ලකුණු 120ක් වැනි පොඩි ඉලක්කයක් හඹා යෑමට නොහැකි වීම පුදුම සහගත අසාර්ථකභාවයක්. හතරේ සීමාවෙන් එහාට පන්දුව යවා ගන්නට බැරිව විස්සයි විස්ස ක්‍රිකට් ගසන්නේ මක්කටද?
කෙසේ වෙතත්, ඉන්දියාව ආයෙත් ජයගත්තා.
