විමල්ට සිතාසි

හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා මේ දිනවල උණ, වමනය හා පාචනය රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (01) කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබෙනවා.

ඒ, රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපහාසත් වී ඇති බවට චෝදනා එල්ලවී ඇති නඩුවක් සම්බන්ධයෙන් විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා ගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ වීරවංශ මහතා රෝගී තත්ත්වයින් පසුවන බවත් ඒ බව සහතික කෙරෙන වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන බවයි.

එම වෛද්‍ය වාර්තාවේ සඳහන් පරිදි, විත්තිකරු උණ,වමනය හා පාචනය යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇති අතර ඔහුට අද දින සිට දින හතක නිවාඩුවක් ලබා දෙන ලෙස වෛද්‍ය වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය හමුවී කරුණු දක්වමින් විත්තිකරු පසුගිය සැප්තැම්බර් මස 13 වන දා සිට අසනීප තත්ත්වයන් බව සඳහන් කරමින් අධිකරණය හමුවේ වරින් වර පෙනී නොසිටීම නිසා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර ගැනීමට නොහැකි වී ඇති බව සඳහන් කළා.

එම නිසා විත්තිකරු අප්‍රමාදව සුදුසු වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම යෝග්‍ය බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කරගැනීම සඳහා දින නියම කරන ලෙස ඉල්ලා සිටියා.

විත්තිකරු වරින් වර අසනීප තත්ත්වයන් බව සඳහන් කරමින් අධිකරණයේ පෙනී නොසිටීම නිසා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කරගැනීමට නොහැකි වී ඇති බව මෙහිදී විනිසුරුවරයා ද විත්තියේ නීතිඥවරුන්ට පෙන්වා දුන්නා.

එම නිසා නඩුව නැවත මාර්තු මස 22වනදා කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා එදින විත්තිකරු අනිවාර්යෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුණා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading