මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාවය පිළිබද පනතට නැවත වතාවක් සංශෝධනයක් කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
මෙම පනත ශ්රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කළ තුනෙන් දෙකක් ලැබිය යුතු සංශෝධනත් ඇතුළත්ව, තුනෙන් දෙකක බහුතරයක් නොමැතිව සම්මත කිරීම නිසා කථානායකවරයාගේ අත්සන ලැබුණත්, නිත්යානුකූල නොමැති බව නීති ක්ෂේත්රයේ මතයක් මතුව තිබේ. ඒ අනුව, මෙම පනත ක්රියාත්මක වීම තවමත් අවිනිශ්චිතව පවතී.
පෙබරවාරි 12 වැනිදා කැබිනට් මණ්ඩලයේ ගත් තීන්දුව පිළිබද කැබිනට් තීන්දු දැනුම් දීම සදහා වන නිල කැබිනට් නිවේදනයෙහි මෙසේ සදහන් විය.
‘මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාව පිළිබද පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදුව මේ වන විට එම පනතේ විධිවිධාන ක්රියාත්මකව පවතී. එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන ලද සංශෝධනයන් ශ්රේෂ්ඨාධිකරණ තීරණයට අනුගතව සිදු කළ යුතුව තිබූ බැවින් ක්ෂේත්රයේ විශේෂඥයන් විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධන යෝජනා ඉකී පනත් කෙටුම්පතට හදුන්වා දීමට හැකි වී නොමැත. එබැවින් අදාල සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබූ ක්ෂේත්රයේ විශේෂඥයන් සමග තවදුරටත් සාකච්ඡා කර හදුනාගනු ලැබ ඇති සංශෝධන මත පදනම්ව මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සදහා මහජන ආරක්ෂක අමාත්යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.‘
මෙම පනත ජනවාරි 24 වැනිදා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට ලක් කළ අතර, දෙවැනි වර කියවන අවස්ථාවේදී ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවේදී 113කින් සම්මත කිරීමට නම්, තිබිය යුතුයැයි පෙන්වාදුන් සංශෝධනවලට පිටින් ගොස්, තුනෙන් දෙකක් අවශ්ය වන සංශෝධනත් ඉදිරිපත් කිරීම නිසා විශාල ආන්දෝලනයක් ඇති විය.
එම අවස්ථාවේදී සුසිල් ප්රේම්ජයන්ත් සහ ප්රසන්න රණතුංග යන ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයන් වටා රෝහිත අබේගුණවර්ධන සහ සනත් නිශාන්ත ඇතුළු පිරිසක් වට වී, කථානායකවරයාගේ ආශිර්වාදය නොතකමින් විපක්ෂයේ ආශිර්වාද සහිතව බලහත්කාරයෙන් පනතට ඡන්දය ලබා ගැනීම සිදු විය. පනත තුන්වැනිවර කියවා සම්මත බව කථානායකවරයා ප්රකාශයට පත් කළේ, විපක්ෂයේ මතය නොවිමසා වන අතර පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් නැගිට විරෝධය ප්රකාශ කළත්, එය කථානායකවරයා නොතකා හැරීය.
පනත සම්මත කරගැනීමට විශාල මැදිහත්වීමක් සිදු කළ රාජ්ය අමාත්ය සනත් නිශාන්ත ජනවාරි 24 වැනිදා රාත්රියේ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් මරණයට පත් විය. එම මරණය සමාජ මාධ්ය හරහා විශාල ශ්රී ලාංකිකයන් පිරිසක් සමරන ආකාරය දක්නට ලැබුණිඤ.
මෙම පනත ප්රජාතන්ත්රවාදී නොවන බවත්, එය ප්රතික්ෂේප කරන බවත් සියලුම පාර්ශ්වවලින් පෙන්වා දී ඇත.
මෙම පනත පිළිබද ජාත්යන්තර මට්ටමේ සාකච්ඡාවලදී, අධිකරණයේදී සහ වෙනත් තැන්වලදී පනතේ අරමුණ ලෙස රජය පෙන්වා දුන්නේ එය කාන්තාවන්ගේ, දරුවන්ගේ ආරක්ෂාවට සහ අන්තර්ජාලය තුළ සිදුවන අපරාධකාරී ක්රියාවන්ට එරෙහිව ගෙන එන්නක් බවය. එහෙත් මෙම පනතේ එවැනි ක්රියාවලට අදාල වගන්ති කිහිපයක් පමණක් වන අතර, එම වගන්තිවලින් ආවරණය වන කරුණු පවා දැනටමත් වෙනත් නීතිවලින් ආවරණය වන කරුණු වේ.
පනතේ සැබෑ අරමුණ පෙන්වා දෙමින්, පොලීසිය භාර අමාත්ය ටිරාන් අලස් ප්රසිද්ධියේ කියා ඇත්තේ සමාජ මාධ්ය හරහා ‘ආණ්ඩු පෙරළීමේ හැකියාව තිබෙන බවත්, තමන් කරගෙන යන ක්රියාකාරකම්වලට සමාජ මාධ්යවලින් විරෝධය එල්ලවෙන බවත්‘ එවැනි හේතු පනත ගෙන ඒමට හේතු වූ බවය. ඊට අමතරව ආණ්ඩුවේ නායකයන් ගණනාවක් පෙන්වා දී ඇත්තේ සමාජ මාධ්ය හරහා තමන්ට නිවන් සුව පැතීම, තමන්ට විවිධාකාර දූෂණ වංචා චෝදනා ඇතුළු චෝදනා එල්ල කිරීම මෙම පනත සම්මත කිරීමට හේතු වී ඇති බවයි.
මේ වන විට පනතට එරෙහිව කටයුතු කිරීම සදහා පාර්ශ්ව ගණනාවක් සාකච්ඡා පවත්වමින් සිටී. නැවත අධිකරණය වෙත යොමු වීම, විරෝධතා පැවැත්වීම ඇතුළු පියවර ගණනාවක් ඒ අතර පවතී.
මීට අමතරව, ත්රස්ත විරෝධී පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති අතර, එයට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් රැසක් ගොනු කර තිබුණි.
මෙම පනත යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදු කළ බව ඇතැම් මාධ්ය වාර්තා පළ කර තිබුණත්, එය ව්යාජ පුවතක් වන අතර, එවැනි අත්අඩංගුවට ගැනීමක් මෙතෙක් සිදු කර නොමැත.
