කුමනන් කනපතිපිල්ලේ

මුලතිව් දිස්ත්‍රික් විනිසුරු ටී. සරවනරාජා විසින් කුරුන්දුමලෛයි ගැටලුව පිළිබඳ ලබා දුන් නියෝගයෙන් පසු මුහුණදුන් ජීවිත තර්ජන, පීඩනය සහ හිංසාව හේතුවෙන් තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස් වී රටින් පිට වී තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කුරුන්දිමලෛයිවල බෞද්ධ විහාරයක් ඉදි කිරීමට උත්සාහ කරමින් සිටියේය. මීට පෙර අවස්ථා තුනකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කුරුන්දිමලෛයිහි බෞද්ධ විහාරයක් ඉදිකිරීම සඳහා උත්සාහ කර තිබේ. එවැනි පසුබිමක නියෝග ලබා දුන් දිස්ත්‍රික් විනිසුරු සරවනරාජා නොනවතින හිංසනයන්ට සහ තර්ජනවලට මුහුණ දී තිබේ.
මේ පිළිබඳ ඔහු මාධ්‍ය වෙත කී කරුණු මෙසේය.
‘කුරුන්දිමලෛයි පිළිබඳ ලබා දුන් නියෝග නැවත හරවන ලෙස නොකඩවා රජයෙන් බලපෑම් එල්ල වූ බව.
සරත් වීරසේකර ඇතුළු පාර්ලිමේන්තුවේ සාමාජිකයන් සහ බහුතර ජනවර්ගයට අයත් පාර්ශ්වවලින් ජීවිත තර්ජන පාර්ලිමේන්තුව තුළදී සහ ඉන් පිටතදී එල්ල කළ බව.
මා (විනිසරුවරයා) වෙත ලබා දුන් පොලිස් ආරක්ෂාව මෑතකදී අඩු කළ බවත්, බුද්ධි අංශ නිලධාරීන් නිරන්තරයෙන් මාව ආවේක්ෂණයට ලක් කළ බවත්.
නීතිපතිවරයා මාව (විනිසුරුවරයාව) 2023 සැප්තැම්බර් 21 වැනිදා නීතිපති කාර්යාලයට කැඳවූ අතර කුරුන්දිමලෛයි නඩුවේ නියෝග නැවත හරවන ලෙස බලපෑම් කළ බව.
කුරුන්දිමලෛයි සිදුවීමට අදාලව තමන්ට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දෙකක් පවරා ඇති බව.
තීන්දුව නිකුත් කළ පසු මා මුහුණදුන් ජීවිත තර්ජන, පීඩනය සහ හිංසාවන් නිසා මා ආදරය කළ අධිකරණ තනතුරුවලින් ඉවත් වීමට මට සිදු වෙයි. ඉහත සඳහන් කළේ මා මුහුණදුන් තර්ජන, පීඩන සහ හිංසාවන් අතරින් කිහිපයක් පමණි.‘
විනිසුරුවරයා කීවේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය සැප්තැම්බර් 23 වැනිදා ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ බවය.
මෙම සිදුවීම මෙරට නීතියේ පාලනය පිළිබඳ සැබෑ තත්වය හෙළිදරව් කරයි. දෙමළ විනිසුරුවරයෙකුම මෙවැනි තර්ජනවලට මුහුණ දෙන්නේ නම්, දෙමළ ක්‍රියාධරයෙන් පසෙක තබමු, දෙමළ ජනතාව මුහුණ දෙන තර්ජන කෙනෙකුට අවබෝධ කරගත හැකිය.
(ඉහත පුවත මාධ්‍යවේදී කුමනන් කනපතිපිල්ලේ ට්විටර් අඩවිය වෙත ලියූවක සිංහල පරිවර්තනයකි)
සැ.යු.
උක්ත කරුණු කුමනන් කනපතිපිල්ලේ ඇතුළු දෙමළ මාධ්‍ය විසින් වාර්තා කර ඇති කරුණු වන අතර, අප විසින් දැනට ඍජුව තහවුරු කරගෙන ඇති එකම කාරණය විනිසුරුවරයා ඉල්ලා අස් වූ බව පමණි.
මුලතිවු කුඩා ප්‍රදේශයක් වන නිසා දිස්ත්‍රික් විනිසුරුවරයා මුලතිව ප්‍රධාන මහේස්ත්‍රාත් විනිසුරු ලෙසද කටයුතු කරයි. ඒ අනුව මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ලෙස කටයුතු කරනු ලබන්නේ එකම පුද්ගලයෙකු විසිනි. මේ වන විට මුලතිවු මහේස්ත්‍රාත් අධිකරණය යටතේ කුරුන්දිමලේ විහාර සිදුවීමට අමතරව ආන්දෝලනාත්මක සමූහ මිනීවලක් පිළිබඳ නඩුවක් ක්‍රියාත්මක වේ. එම මිනීවළ දැකබලාගැනීමටද විනිසුරු සරවනරාජා ස්ථානයට ගමන් කර තිබුණු නමුත්, මේ වන විට එම නඩුව මුලතිවු අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විභාග වේ.
