Saturday, December 2

බංකොළොත් කාරක සභාව කොට උඩ

රට බංකොළොත් වීම පිළිබඳ සොයාබැලීමට යැයි පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉවත් වීම නිසා, එම කාරක සභාවේ ඉදිරි පැවැත්ම අභියෝගයට ලක් වී තිබේ.

වාර්තා වන ආකාරයට මෙම කාරක සභාව තුළ ආණ්ඩුවේ සාමාජිකයන් පමණක් ඉතිරි වීමට ඉඩ ඇත.

එම කාරක සභාව සඳහා සහභාගී වීමෙන් වළකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති, විපක්ෂයේ සමගි ජන බලවේගයට හිතවත් කණ්ඩායමේ විධායක සභාවේ සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ද කථානායකවරයා වෙත ලිපියක් යවමින් කාරක සභාවෙන් ඉවත් වී තිබේ.

ඉහත සඳහන් කළ සාකච්ඡාව පැවැත්වූ කණ්ඩායමට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ පක්ෂවලින් ඉවත් වූ කණ්ඩායම් ඇතුළත් වේ.

මෙයට හේතුව ලෙස එහිදී සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා සහ දේශපාලන වශයෙන් බැසිල් රාජපක්ෂ හිතවතෙකු ලෙස ප්‍රකට සාගර කාරියවසම් මහතාව එම කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කිරීමය. මෙය ආණ්ඩුව සිය වැරදි වසා ගැනීමට පත් කළ කමිටුවක් බවත්, එම නිසා එයට සම්බන්ධ නොවිය යුතු බවත් තීන්දු කර තිබේ.

මේ අතර විපක්ෂය ලෙස තේරීම් කාරක සභාවක් පිහිටුවීම ගැනද එහිදී සාකච්ඡා කර ඇත.

Author

%d bloggers like this: