නියමිත ආහාර ප්‍රමිතීන්ට අනුකූල නොවන අයිස්ක්‍රීම් අලෙවි කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවකදී Bing Chun ආයතනයට රුපියල් 84,000ක දඩ මුදලක් ගෙවන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
2026 නොවැම්බර් 13 වැනිදා අධිකරණය හමුවේ කැඳවූ මෙම නඩුවට අදාළ චෝදනා 28ටම වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඩ මුදල නියම කර ඇති බව වාර්තා වේ.
කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි Bing Chun අයිස්ක්‍රීම් අලෙවිසැලක සිදුකළ හදිසි පරීක්ෂාවකදී අයිස්ක්‍රීම් සාම්පල ලබාගෙන තිබේ. එම සාම්පල නගර සභා රසායනාගාරය වෙත යොමු කර සිදුකළ පරීක්ෂණවලදී අදාළ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ නියමිත ආහාර ප්‍රමිතීන්ට අනුකූල නොවන බව අනාවරණය වී ඇත.
ඒ අනුව අදාළ ආයතනයට එරෙහිව නීතිමය පියවර ගෙන තිබූ අතර, වැනිලා සහ චොකලට් අයිස්ක්‍රීම් සම්බන්ධයෙන් වෙන වෙනම නඩු දෙකක් ගොනු කර තිබිණි. මෙහිදී ප්‍රධාන සමාගම වන Franchisor ආයතනයට චෝදනා 14ක් සහ අදාළ ශාඛාවේ හිමිකරු වන Franchisee වෙත තවත් චෝදනා 14ක් වශයෙන් සමස්ත චෝදනා 28ක් ඉදිරිපත් කර තිබූ බව නීතිඥ පාර්ශ්වය සඳහන් කර ඇත.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් Bing Chun Sri Lanka ආයතනය නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, අදාළ ගැටලුව තම නිෂ්පාදනවල සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් නොව, ශ්‍රී ලංකාවේ ආහාර රෙගුලාසි යටතේ ‘අයිස්ක්‍රීම්’ ලෙස නම් කිරීම සඳහා අවශ්‍ය අවම මේද ප්‍රමාණය (Fat Content) සහ සමස්ත ඝන ද්‍රව්‍ය ප්‍රමාණය (Total Solids) සපුරාලීමට නොහැකි වීම සම්බන්ධයෙන් පැන නැගුණු තත්ත්වයක් බවයි.
එමෙන්ම, රසායනාගාර පරීක්ෂණ වාර්තාවලින් තම නිෂ්පාදන විෂ සහිත බවට හෝ මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තීරණය කර නොමැති බව ද ආයතනය අවධාරණය කර තිබේ.
තවද, අදාළ ආහාර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි නිෂ්පාදන වට්ටෝරු, තත්ත්ව පාලන පරීක්ෂණ සහ නිෂ්පාදන ලේබල් කිරීමේ තොරතුරු යළි සමාලෝචනය කර අවශ්‍ය සංශෝධන සිදුකරමින් පවතින බව ද Bing Chun Sri Lanka ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත.

