ජේ ෂාට ICC සභාපති ධුරය දෙවැනි වරටත්! වසර දෙකකට නිතරගයෙන් යළි පත්වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපතිවරයා ලෙස ඉන්දීය ජාතික ජේ ෂා මහතා දෙවැනි වරටත් නිතරගයෙන් නැවත තේරී පත්ව තිබෙනවා.

ඉන්දුනීසියාවේ බාලිහි පැවැත්වෙන ICC අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අතරතුර ඉදිරිපත්වූ යෝජනාවකට අනුව මෙම නැවත පත් කිරීම සිදුකර ඇති බව එම කවුන්සිලය අද (16) නිල වශයෙන් නිවේදනය කළා.

ජේ ෂා මහතාගේ දෙවැනි ධුර කාලය වසර දෙකකින් සමන්විත වන අතර මෙය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක වසර කිහිපයක් ඉදිරියේදී උදාවීමට නියමිත පසුබිමක සිදුවූවකි.

ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කිරීම, ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩිදියුණු කිරීම සහ ක්‍රීඩාවේ වාණිජමය වටිනාකම වර්ධනය කිරීම සඳහා අඛණ්ඩ නායකත්වයක් පවත්වාගෙන යාම මෙම තීරණයේ අරමුණ වී තිබෙනවා.

විශේෂයෙන්ම 2028 වසරේදී පැවැත්වීමට නියමිත ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ඇතුළත් වීමත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට නව අවස්ථා රැසක් විවෘත වනු ඇතැයි ICC සඳහන් කළා.

එමඟින් ක්‍රිකට් ක්‍රීඩාව මෙතෙක් එතරම් ජනප්‍රිය නොවූ රටවලටත් එය හඳුන්වාදීමටත් නව ප්‍රේක්ෂක පිරිසක් මෙන්ම අනාගත ක්‍රීඩක පරපුරක් ක්‍රීඩාව වෙත ආකර්ෂණය කර ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කර තිබෙනවා.

මේ අතර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩ වර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කිරීම, සහකාර සාමාජික රටවලට ජාත්‍යන්තර මට්ටමේ අවස්ථා පුළුල් කිරීම සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විශ්වසනීයත්වය හා අඛණ්ඩතාව ආරක්ෂා කිරීමද ඉදිරි කාලසීමාවේදී ICC හි ප්‍රමුඛ කාර්යයන් අතරට ඇතුළත් වනවා.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ දිගුකාලීන පැවැත්ම තහවුරු කිරීම සඳහා තිරසර වාණිජමය අවස්ථා නිර්මාණය කිරීම සහ ක්‍රීඩකයන්, ප්‍රේක්ෂකයන් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කිරීමත් එහි ඉදිරි සැලසුම්වල කොටසක් බව සඳහන්.

නැවතත් ICC සභාපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජේ ෂා මහතා තමන් කෙරෙහි විශ්වාසය තබමින් සහයෝගය ලබාදුන් ICC අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු සාමාජිකයන්ට ස්තූතිය පළ කර තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට එහි ඉතිහාසයේ ඉතාමත් වැදගත් සහ උද්යෝගිමත් අවධියකට පිවිසෙමින් සිටින බව පෙන්වා දෙන ඔහු, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව එක්වීම ලොව පුරා නව ප්‍රේක්ෂකයන් වෙත ක්‍රීඩාව රැගෙන යාමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් බවද සඳහන් කලා.

ප්‍රධාන තරගාවලි සාර්ථකව පැවැත්වීමෙන් ඔබ්බට ගොස් ක්‍රිකට් ක්‍රීඩාවට වඩාත් ශක්තිමත් සහ තිරසර අනාගතයක් ගොඩනැඟීම තමන් ඇතුළු ICC සාමාජිකයන්ගේ වගකීම බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

මේ අතර ICC සභාපතිවරයාගේ නැවත පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රිචඩ් තොම්සන් මහතාද එම තීරණය පිළිගෙන තිබෙනවා. .

ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහන ශක්තිමත් කිරීම, ද්විපාර්ශ්වික තරගාවලියන්හි තරගකාරීත්වය ආරක්ෂා කිරීම සහ ක්‍රීඩාවේ සම්ප්‍රදායන් නව තාක්ෂණය හා වාණිජමය අවස්ථා සමඟ සමබරව ඉදිරියට ගෙන යාම ඉදිරි වසරවලදී වැදගත් වනු ඇති බව ඔහු පෙන්වාදුන්නා.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය සහ සහකාර සාමාජික රටවලට වැඩි අවස්ථා ලබාදීම කෙරෙහිද ජේ ෂා මහතාගේ ඉදිරි නායකත්වය යටතේ තවදුරටත් අවධානය යොමු කරනු ඇතැයි ICC නියෝජිතයන් පෙන්වාදි තිබෙනවා.

ජේ ෂා මහතා 2024 අගෝස්තු 27 වැනිදා ප්‍රථම වරට ICC සභාපති ධුරයට නිතරගයෙන් තේරී පත්වූ අතර එම වසරේ දෙසැම්බර් 1 වැනිදා නිල වශයෙන් සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවා.

එවකට 35 හැවිරිදි වියේ පසුවූ ඔහු ICC සභාපති ධුරයට පත්වූ ලාබාලතම පුද්ගලයා බවටද පත් වුණා.

ඔහුගේ දෙවැනි ධුර කාලය ආරම්භ වීමත් සමඟ 2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාවේ නැවත ආගමනය ඇතුළු ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි සංවර්ධන කටයුතු මෙහෙයවීමේ වගකීමද තවදුරටත් ඔහු වෙත පැවරෙනු ඇති.

Author

Leave a Reply

Related Posts