ජනපතිගේ අයවැය කතාව පල්ලියේ ෆාදර්, පන්සලේ බණ කියනවා වගේ – හර්ෂ ද සිල්වා

ජනාධිපතිවරයාගේ අයවැය ඉදිරිපත් කිරීම පල්ලියේ ෆාදර්, පන්සලේ බණ කියන්නාක් ලෙස තමන්ට හැඟී ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

අද (නොවැම්බර් 16) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එක් පසෙකින් සුනිල් හඳුන්නෙත්ති වැනි අමාත්‍යවරුන් තමන්ගේ හදවතේ මාක්ස්-ලෙනින්වාදය පවතින බව ප්‍රකාශ කරන අතර, අනෙක් පසින් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ගිවිසුම ඉදිරියට ගෙන යන බව පවසන බවද ඔහු සඳහන් කළේය.

IMF ගිවිසුම අකුරක් නෑර ක්‍රියාත්මක කරන්නේ නම් සහ හදවතේ පවතින්නේ මාක්ස්-ලෙනින්වාදී අදහස් නම්, එහි අභ්‍යන්තර පරස්පර විරෝධතාවක් පවතින බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ සඳහා උදාහරණයක් ඉදිරිපත් කරමින් ඔහු සඳහන් කළේ මාක්ස්-ලෙනින්වාදී අදහස් අනුව මහ බැංකුව ආණ්ඩුවට අවශ්‍ය පරිදි මෙහෙයවීමට හැකියාව තිබිය යුතු බවයි. එහෙත් IMF හි අදහස ඊට වෙනස් බවත්, මහ බැංකුව ස්වාධීනව පැවතිය යුතු බව එම ආයතනයේ ස්ථාවරය බවත් ඔහු පැවසීය.

මේ හේතුවෙන් ආණ්ඩුවට තමන්ට අවශ්‍ය පරිදි කාර්මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොමැති බවද හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, ජීවත් වීම සඳහා අරගල කරන අහිංසක පවුල්වල ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව සහාය විය යුතු බවයි.

එම පවුල්වලට ක්‍රමයෙන් හෙට දවස පිළිබඳව සිතීමට හැකි පරිසරයක් නිර්මාණය කරමින්, ඉන් ඔබ්බට ගොස් වත්කම් උපයා ගැනීමටත්, ධනය උත්පාදනය කර ගැනීමටත්, ගෞරවනීය ලෙස ජීවත් වීමටත් හැකි පදනමක් ආණ්ඩුව විසින් සකස් කළ යුතු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Author

Leave a Reply

Related Posts