රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් වැඩි කිරීම වෙනුවෙන් රජයට රුපියල් බිලියන 330ක වැය බරක් දැරීමට සිදුවන අතර, 2027 වසරේදී රාජ්‍ය සේවකයන්ගේ විවිධ දීමනා වැඩි කිරීම සඳහා තවත් රුපියල් බිලියන 49ක් වැය කිරීමට සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
2027 වර්ෂය සඳහා වන අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ දීමනා සඳහා මෙතරම් විශාල මුදලක් වැය කරන විට ඒ හා සමාන ප්‍රතිලාභයක් රටේ පුරවැසියන්ට ලැබෙන්නේද යන්න පිළිබඳවද කල්පනා කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
“මෙවැනි විශාල වැය බරක් අපේ රාජ්‍ය සේවය වෙනුවෙන් දරාගත යුතුද? ඒ හා සමාන ප්‍රතිලාභයක් අපේ පුරවැසියන්ට ලැබෙනවාද කියලා කල්පනා කළ යුතුයි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
2025 වසරේදී ආරම්භ කළ රාජ්‍ය සේවයේ මූලික වැටුප් වැඩි කිරීමේ වැඩපිළිවෙළේ තුන්වැනි සහ අවසන් අදියර 2027 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා ලබන වසරේ අයවැයෙන් රුපියල් බිලියන 110ක් වෙන්කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
වැටුප් වැඩිවීමේ අවසන් අදියර 2027දී
2025 වසරේ රජයේ පළමු අයවැය මඟින් රාජ්‍ය සේවයේ අවම මාසික මූලික වැටුප රුපියල් 15,750කින් ඉහළ නැංවීමටත්, වාර්ෂික වැටුප් වර්ධක අගය සියයට 80 දක්වා ඉහළ නැංවීමටත් පියවර ගත් බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.
එම වැටුප් සංශෝධනය අදියර තුනකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අතර, එහි අවසන් අදියර 2027 වසරේදී ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.
“2025 අපේ පළමු අයවැයෙන් රාජ්‍ය අංශයේ අවම මාසික මූලික වැටුප රුපියල් 15,750කින් වැඩි කරමින්, වාර්ෂික වැටුප් වර්ධක අගය සියයට 80 දක්වා වැඩි කරමින් මූලික වැටුප් වැඩි කළා. මේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් බිලියන 330ක් වැය වෙනවා. මේ වැටුප් සංශෝධනයේ අවසන් අදියර 2027දී ක්‍රියාත්මක කරනවා.” යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙම වැඩිවීමේ සමස්ත වැය බර රුපියල් බිලියන 330ක් වන අතර, 2027 අයවැයෙන් ඒ සඳහා වෙන්කරන මුදල රුපියල් බිලියන 110කි.
රාජ්‍ය සේවකයන්ගේ දීමනා වැඩි කිරීමේ ඉල්ලීම් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී වශයෙන් අදහස් දැක්වීය.
රාජකාරි ඉටු කිරීමේදී දැරීමට සිදුවන වියදම් ඉහළ ගොස් ඇති බව පවසමින් විවිධ ක්ෂේත්රවල රාජ්‍ය සේවකයන් තම දීමනා සංශෝධනය කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, 2027 වැටුප් සංශෝධනයෙන් පසුව දීමනා පිළිබඳව සාකච්ඡා කළ හැකි බව රාජ්‍ය සේවකයන්ට කලින් දැනුම් දී තිබූ බවද ජනාධිපතිවරයා පැවසීය.
“අපි රාජ්‍ය සේවයට කිව්වා 2027 වැටුප් වර්ධකයෙන් පස්සේ තමයි දීමනා ගැන කතා කරන්නේ කියලා. වැටුප් වර්ධකයන් ලැබෙන්න තිබියදී නැවත දීමනා ඉල්ලීම යුක්තිසහගත නෙවෙයි. එහෙමයි අපි රටක් ගැන කල්පනා කරන්න ඕනෑ.”
එසේ වුවද, රාජ්‍ය සේවයේ ඇතැම් ක්ෂේත්රවල දීමනා ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් පවතින බව රජය පිළිගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එම නිසා ප්‍රමුඛතා අනුව තෝරාගත් දීමනා කිහිපයක් මෙවර අයවැයෙන් වැඩි කිරීමට තීරණය කර ඇති බව ඔහු පැවසීය.
සෙසු දීමනා සංශෝධනය කිරීමේ ඉල්ලීම් රජයේ මූල්‍ය හැකියාව සැලකිල්ලට ගනිමින් ඉදිරි අයවැයවලදී අදියර වශයෙන් සලකා බැලීමට නියමිතය.
දීමනා වැඩි කිරීමට 2027දී තවත් බිලියන 49ක්
විවිධ ක්ෂේත්රවල රාජ්‍ය සේවකයන්ට ලබාදෙන දීමනා වැඩි කිරීමේදී එම වැය බර එකවර දැරීම වෙනුවට අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.
දීමනා වැඩි කිරීම් අතරින් ඇතැම් ඒවා වසරේ මැද භාගයේ සිට ආරම්භ කිරීමටත්, ඇතැම් වැඩිවීම් කොටස්වලට බෙදා ගෙවීමටත් තීරණය කර ඇති බව ඔහු පැවසීය.
“සමහර ක්ෂේත්රවල දීමනා වැඩිවීමක් අවශ්‍යයි. මම කල්පනා කරන්නේ මේ දීමනා අතරින් සමහර ඒවා මාස හයකින් පසුව ආරම්භ කරන්න. ඒකත් කොටස්වලට කඩන්න. එහෙමත් කඩලා ලබන වසරට රුපියල් බිලියන 49ක් වැය වෙනවා.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ විස්තරාත්මක අයවැය යෝජනා අනුව සෞඛ්‍ය, විශ්වවිද්‍යාල සහ අධිකරණ ක්ෂේත්රවල ඇතැම් දීමනා වැඩිවීම්වලින් සියයට 50ක් 2027 ජූලි මාසයේ සිටත් ඉතිරි සියයට 50 2028 වසරේදීත් ගෙවීමට නියමිතය.
මේ අතර ඇතැම් ක්ෂේත්‍ර නිලධාරීන්ගේ දීමනා වැඩිවීම් 2027 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.
වැටුප් ගැන වගේම යුතුකම් ගැනත් හිතන්න – ජනපති රාජ්‍ය සේවකයන්ට කියයි
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා දීමනා සඳහා විශාල රාජ්‍ය මුදලක් වැය කරන බැවින් ඔවුන්ගේ සේවයෙන් ජනතාවට ලැබෙන ප්රතිලාභ පිළිබඳව අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
රජය 2027 වසර සඳහා රුපියල් බිලියන 2,000ක ප්‍රාග්ධන වියදම් සැලසුම් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එම මුදල් ඵලදායී ලෙස වැය කිරීමට රාජ්‍ය සේවය සමත් විය යුතු බව පැවසීය.
“බිලියන 2,000ක් මේ අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් තියෙනවා. මේ මුදල් වැය කරන්න සමත් වෙන්න ඕනෑ. තමන්ගේ වැටුප්, දීමනා ගැන කල්පනා කරන ගමන්ම තමන්ගේ යුතුකම් සහ වගකීම් ගැන කල්පනා කරන්න ඕනෑ.”
ඒ අනුව වැටුප් හා දීමනා ඉහළ නැංවීමට සමගාමීව රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව, වගකීම සහ මහජන සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමද අවශ්‍ය බව ජනාධිපතිවරයා සිය ප්‍රකාශයෙන් පෙන්වා දුන්නේය.
වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රුපියල් 95,000 දක්වා
වෛද්‍ය නිලධාරීන්ට ගෙවනු ලබන DAT දීමනාව දැනට පවතින රුපියල් 70,000 සිට රුපියල් 95,000 දක්වා රුපියල් 25,000කින් ඉහළ නැංවීමට ජනාධිපතිවරයා යෝජනා කළේය.
පරිපූරක වෛද්‍ය, හෙද සහ අතුරු වෛද්‍ය සේවාවන්හි නිලධාරීන්ගේ මාසික විශේෂ රාජකාරි දීමනාව රුපියල් 6,000 සිට රුපියල් 12,000 දක්වාත්, අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල මාසික විශේෂ රාජකාරි දීමනාව රුපියල් 2,000 සිට රුපියල් 4,000 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
මෙම වැඩිවීම්වලින් සියයට 50ක් 2027 ජූලි මාසයේ සිටත් ඉතිරි සියයට 50 2028 වසරේදීත් ගෙවීමට නියමිතය.
ඒ අනුව වෛද්‍ය නිලධාරීන්ගේ DAT දීමනාවට යෝජිත රුපියල් 25,000ක වැඩිවීමෙන් රුපියල් 12,500ක් පළමු අදියරේදී හිමිවනු ඇත.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනාත් වැඩිවෙයි
විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයට ගෙවන අධ්‍යයන දීමනාව රුපියල් 25,000කින් වැඩි කිරීමටද ජනාධිපතිවරයා යෝජනා කළේය.
එම වැඩිවීමෙන් සියයට 50ක් 2027 ජූලි මාසයේ සිටත් ඉතිරි කොටස 2028 ජූලි මාසයේ සිටත් ලබාදීමට නියමිතය.
විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්යවරුන්ට පැයකට ගෙවන රුපියල් 1,500ක දීමනාව රුපියල් 4,500ක් දක්වාත්, ප්‍රායෝගික පරීක්ෂණ සඳහා බාහිර උපදේශකවරුන්ට පැයකට ගෙවන රුපියල් 600ක දීමනාව රුපියල් 1,800ක් දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපන ආයතනවල බාහිර කථිකාචාර්යවරුන්ට ගෙවනු ලබන දීමනා සියයට 100කින් ඉහළ නැංවීමටද අපේක්ෂා කෙරේ.
පොලිස් නිලධාරීන්ට මාසිකව තවත් රුපියල් 10,000ක්
පොලිස් නිලධාරීන්ගේ මාසික ආහාර හා නවාතැන් දීමනාව 2027 ජූලි 1 වැනිදා සිට රුපියල් 10,000කින් වැඩි කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළේය.
ඒ අනුව සහකාර පොලිස් අධිකාරි සිට පොලිස්පති දක්වා විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ දීමනාව රුපියල් 34,800 සිට 44,800 දක්වාත්, උප පොලිස් පරීක්ෂක සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන්ගේ දීමනාව රුපියල් 31,800 සිට 41,800 දක්වාත් ඉහළ යනු ඇත.
පොලිස් කොස්තාපල් සිට මහ සැරයන් දක්වා නිලධාරීන්ගේ මාසික ආහාර හා නවාතැන් දීමනාව රුපියල් 28,800 සිට 38,800 දක්වා ඉහළ නැංවීමට නියමිතය.
ත්‍රිවිධ හමුදාවේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ දීමනා වැඩිකරයි
ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ දෛනික ආහාර දීමනාව 2027 ජූලි මාසයේ සිට ඉහළ නැංවීමටද යෝජනා කර තිබේ.
ඒ අනුව නිලධාරීන්ගේ දෛනික සලාක දීමනාව රුපියල් 1,161.56 සිට රුපියල් 1,476.37 දක්වාත්, සෙසු නිලයන්ගේ දීමනාව රුපියල් 967.53 සිට රුපියල් 1,299.70 දක්වාත් වැඩි කිරීමට නියමිතය.
බන්ධනාගාර නිලධාරීන්ගේ මාසික අවදානම් දීමනාව රුපියල් 8,000 සිට රුපියල් 16,000 දක්වා දෙගුණ කිරීමටද යෝජනා කර තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිවිල් නිලධාරීන්ට ගෙවන රුපියල් 2,250ක දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට නියමිත අතර, එම සංශෝධන 2027 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ දීමනා වැඩිවෙයි
ග්‍රාම නිලධාරීන්ගේ මාසික ගමන් වියදම් දීමනාව රුපියල් 1,600 සිට 4,000 දක්වා වැඩි කිරීමටත්, කාර්යාල කුලී දීමනාව නගර සභා බලප්‍රදේශවල රුපියල් 3,000 සිට 6,000 දක්වාත්, ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල රුපියල් 2,000 සිට 4,000 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
සංවර්ධන නිලධාරීන්ගේ මාසික ගමන් වියදම් දීමනාව රුපියල් 300 සිට 1,000 දක්වාත්, කාර්යාල කුලී දීමනාව නගර සභා බලප්‍රදේශවල රුපියල් 1,000 සිට 2,000 දක්වාත්, ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල රුපියල් 750 සිට 1,500 දක්වාත් වැඩි කිරීමට නියමිතය.
සමෘද්ධි නිලධාරීන්ගේ මාසික ගමන් වියදම් දීමනාව රුපියල් 2,000 සිට 2,500 දක්වාත්, කාර්යාල කුලී දීමනාව නගර සභා බලප්‍රදේශවල රුපියල් 2,500 සිට 5,000 දක්වාත්, ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල රුපියල් 2,000 සිට 4,000 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ මාසික ගමන් වියදම් දීමනාව රුපියල් 400 සිට 1,000 දක්වාත්, කාර්යාල කුලී දීමනාව නගර සභා බලප්‍රදේශවල රුපියල් 3,000 සිට 6,000 දක්වාත්, ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල රුපියල් 2,000 සිට 4,000 දක්වාත් වැඩි කිරීමට නියමිතය.
මෙම සියලු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ දීමනා සංශෝධන 2027 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.
විනිසුරුවරුන්ගේ දීමනා වැඩිකරයි
මහාධිකරණ විනිසුරුවරුන්ගේ සහ අධිකරණ නිලධාරීන්ගේ මාසික වෘත්තීය දීමනාව රුපියල් 25,000 බැගින් වැඩි කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළේය.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ මාසික වෘත්තීය දීමනාව රුපියල් 75,000 සිට 100,000 දක්වාත්, විශේෂ ශ්‍රේණියේ අධිකරණ නිලධාරීන්ගේ දීමනාව රුපියල් 65,000 සිට 90,000 දක්වාත්, සෙසු ශ්‍රේණිවල අධිකරණ නිලධාරීන්ගේ දීමනාව රුපියල් 55,000 සිට 80,000 දක්වාත් වැඩි කිරීමට නියමිතය.
මෙම වැඩිවීමෙන් සියයට 50ක් 2027 ජූලි මාසයේ සිටත් ඉතිරි සියයට 50 2028 වසරේදීත් ගෙවීමට නියමිතය.
හිමිකම් ඇති අධිකරණ නිලධාරීන්ගේ මාසික ප්‍රවාහන දීමනාව රුපියල් 50,000කින්ද, රියදුරු දීමනාව රුපියල් 25,000 සිට 50,000 දක්වාද වැඩි කිරීමට යෝජනා කර තිබේ.
රජයෙන් නිල නිවසක් සපයා නොමැති අදාළ විනිසුරුවරුන්ගේ මාසික නිවාස දීමනාවද සියයට 100කින් ඉහළ නැංවීමට නියමිතය.
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දීමනා ඉහළට
නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති, සොලිසිටර් ජනරාල් සහ අදාළ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරීන්ගේ වෘත්තියේ නොයෙදීමේ මාසික දීමනාව රුපියල් 25,000කින්ද, ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ සහ රජයේ අධිනීතිඥ ඇතුළු අදාළ ශ්‍රේණිවල නිලධාරීන්ගේ දීමනාව රුපියල් 20,000කින්ද වැඩි කිරීමට යෝජනා කර තිබේ.
මෙම වැඩිවීමෙන් සියයට 50ක් 2027 ජූලි මාසයේ සිටත් ඉතිරි කොටස 2028 වසරේදීත් ලබාදීමට නියමිතය.
අදාළ හිමිකම් ඇති නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනාව රුපියල් 50,000කින් වැඩි කිරීමටත්, රියදුරු දීමනාව රුපියල් 25,000 සිට 50,000 දක්වා සහ නිවාස දීමනාව සියයට 100කින් වැඩි කිරීමටත් යෝජනා කර ඇත.
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ විශේෂ දීමනා රුපියල් 25,000කින් සහ අනෙකුත් අදාළ නිලධාරීන්ගේ දීමනා රුපියල් 20,000කින් ඉහළ නැංවීමටද යෝජනා කර තිබේ.
අධිකරණ සහායක කාර්ය මණ්ඩලයේ ප්‍රවාහන දීමනා, දිරි දීමනා සහ ඇස්කීසි ක්‍රියාත්මක කිරීමේ දීමනා 2027 අප්‍රේල් මාසයේ සිට ඉහළ නැංවීමටද නියමිතය.
විධායක නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනාව ලක්ෂයක් දක්වා
නිල වාහනයක් සඳහා හිමිකම් ඇති නමුත් තම පෞද්ගලික වාහනය රාජකාරි සඳහා භාවිත කරන රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට දැනට ගෙවන රුපියල් 50,000ක මාසික ප්‍රවාහන දීමනාව රුපියල් 100,000 දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ.
පෞද්ගලික වාහනවල නඩත්තු සහ මෙහෙයුම් වියදම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම දීමනාව වැඩි කිරීමට තීරණය කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
සම්පූර්ණයෙන් විදුලි බලයෙන් ධාවනය වන පෞද්ගලික වාහන භාවිත කරන, නිල වාහන හිමිකම් ඇති නිලධාරීන්ට අදාළ වෙනත් මාසික දීමනාවක් 2027 ජූලි මාසයේ සිට සියයට 150කින් ඉහළ නැංවීමටද යෝජනා කර තිබේ.
කොමිෂන් සභා සභාපතිවරුන්ගේ දීමනාත් වැඩිකරයි
ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන්ගේ මාසික දීමනාව රුපියල් 135,000 සිට 200,000 දක්වාත්, සාමාජිකයන්ගේ මාසික දීමනාව රුපියල් 90,000 සිට 140,000 දක්වාත් වැඩි කිරීමට යෝජනා කර තිබේ.
මෙම දීමනා 2018 වසරේ සිට සංශෝධනය කර නොමැති බව ජනාධිපතිවරයා පැවසීය.
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන්ගේ, විධායක අධ්‍යක්ෂවරුන්ගේ සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන්ගේ මාසික දීමනාද ආයතන කාණ්ඩ අනුව සංශෝධනය කිරීමට නියමිතය.
අදාළ සංශෝධන 2027 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.
විශ්‍රාමිකයන්ට මාසිකව රුපියල් 2,500ක්
රාජ්‍ය සේවයෙන් 2020 සිට 2024 දක්වා කාලය තුළ විශ්‍රාම ගිය පුද්ගලයන්ට 2027 ජූලි 1 වැනිදා සිට මාසිකව රුපියල් 2,500ක අතුරු දීමනාවක් ලබාදීමටද ජනාධිපතිවරයා යෝජනා කළේය.
2025 වසරේදී හඳුන්වා දුන් නව මූලික වැටුප් ව්‍යුහයට අනුව විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන තෙක් මෙම දීමනාව ලබාදීමට නියමිතය.
2020 වසරට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් 2020 මූලික වැටුප් පරිමාණයට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළේ පළමු සහ දෙවන අදියර අවසන් කර ඇති අතර, අවසන් අදියර 2027 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපතිවරයා පැවසීය.
2025 නව මූලික වැටුප් ව්‍යුහයට අනුව ඉදිරි විශ්‍රාම වැටුප් සංශෝධන 2028 අයවැයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
එම සංශෝධනය ක්‍රියාත්මක කර අදාළ විශ්‍රාමිකයන්ට සංශෝධිත විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කළ පසු රුපියල් 2,500ක අතුරු දීමනාව අවසන් වනු ඇත.
වතු කම්කරුවන්ගේ රුපියල් 200 දෛනික දිරි දීමනාව දිගටම
වතු සේවකයන් සඳහා පසුගිය වසරේදී ලබාදුන් දිනකට රුපියල් 200ක දිරි දීමනාව 2027 වසරේදීද ලබාදීමට ප්‍රතිපාදන වෙන්කර ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මෙය නව දීමනා වැඩිවීමක් නොව, පසුගිය වසරේ ලබාදුන් දීමනාව තවදුරටත් පවත්වාගෙන යාමකි.
වැටුප් ලබන්නන්ගේ ආදායම් බදු නිදහස් සීමාවත් ඉහළට
වැටුප් ලබන පුද්ගලයන්ට අදාළව පුද්ගල ආදායම් බදු නිදහස් සීමාවද සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළේය.
ඒ අනුව දැනට මාසයකට රුපියල් 150,000ක් වන ආදායම් බදු නිදහස් සීමාව රුපියල් 162,500 දක්වා ඉහළ නැංවීමට නියමිතය.
බදු අය කරන ආදායම් ස්ථර පුළුල් කිරීම සහ බදු අනුපාත සංශෝධනය කිරීම මඟින් බදු ගෙවන්නන්ට මාසිකව රුපියල් 750 සිට රුපියල් 15,750 දක්වා අතිරේක බදු සහනයක් සැලසීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙය මූලික වැටුප් වැඩිවීමක් නොව, බදු ගෙවීම් අඩුවීම මඟින් බදු ගෙවන්නන්ට ලබාදීමට යෝජිත සහනයකි.
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් සංශෝධනයේ අවසන් අදියර ක්‍රියාත්මක කිරීම සහ ක්ෂේත්‍ර කිහිපයක දීමනා ඉහළ නැංවීම යෝජනා කර ඇති අතර, එම වැය බරට සාපේක්ෂව ජනතාවට ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ වගකීම රාජ්‍ය සේවකයන් සතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
