බොඩිකැම් එක්ක පොලීසියට අලුත් නිල ඇදුමක්! සීඅයිඩීයට තට්ටු 15ක බිල්ඩිමක්! කුලියට ඉන්න පොලිස් ඒකක ඔක්කොම තනි තැනකට!

ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් සඳහා ශරීරයේ පැලඳිය හැකි කැමරා (Body Cameras), විදුලි පන්දම් ඇතුළු නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජූනි මාසයේ සිට හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

2027 වර්ෂය සඳහා වන අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

පොලිස් නිලධාරීන්ගේ වර්තමාන නිල ඇඳුම වෙනුවට ශ්‍රී ලංකාවේ දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන, රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය නවීන උපකරණ භාවිත කළ හැකි නිල ඇඳුමක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

“2027 වසරේ ජූනි මාසයේදී පොලිස් නිලධාරීන් සඳහා අප රටේ දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන, නවීන තාක්ෂණික උපකරණවලින් ද යුත් නව නිල ඇඳුමක් ලබාදීමට යෝජනා කරනවා.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

නව නිල ඇඳුමට බොඩි කැමරා, විදුලි පන්දම් සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරි සඳහා අවශ්‍ය තවත් උපකරණ ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සිය අයවැය කතාවේදී පැහැදිලි කළේය..

පොලිසියේ ඩිජිටල්කරණය සහ යටිතල පහසුකම් සඳහා මිලියන 9,500ක්

පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි ඩිජිටල්කරණය කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ පුහුණු හා සේවා පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 9,500ක්, එනම් රුපියල් බිලියන 9.5ක් වෙන්කර ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.

එම ප්‍රතිපාදන යටතේ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පූර්ණ වශයෙන් නවීකරණය කිරීමටත්, නාරාහේන්පිට පොලිස් රෝහල සංවර්ධනය කිරීමටත්, අත්තිඩිය පොලිස් පුහුණු ආයතනයේ පහසුකම් වැඩිදියුණු කිරීමටත් සැලසුම් කර තිබේ.

මීට අමතරව මිරිහාන පොලිස් ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීමද එම වැඩපිළිවෙළට ඇතුළත්ය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන, කුරුණෑගල, අරන්තලාව, කෑගල්ල සහ කිරිඳිවැල යන කඳවුරුවල පහසුකම් සහ යටිතල පහසුකම් ඉහළ නැංවීමටද සැලසුම් කර තිබේ.

මෙම සියලු කටයුතු සඳහා රුපියල් මිලියන 9,500ක ප්‍රතිපාදන වෙන්කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

පොලිස් දෙපාර්තමේන්තුවේ අංශ එකම ගොඩනැගිල්ලකට

කොළඹ නගරයේ විවිධ ස්ථානවල කුලී පදනම මත ලබාගත් ගොඩනැගිලිවල පවත්වාගෙන යන පොලිස් දෙපාර්තමේන්තුවේ අංශ එකම ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමටද රජය සැලසුම් කර තිබේ.

ඒ සඳහා නව පොලිස් පරිපාලන ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාළ ශක්‍යතා අධ්‍යයනය සහ සැලසුම් සකස් කිරීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.

දැනට කුලී ගොඩනැගිලිවල පවත්වාගෙන යන පොලිස් දෙපාර්තමේන්තුවේ අංශ එක් ස්ථානයකට ගෙන ඒමෙන් මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම මෙහි අරමුණ බව ජනාධිපතිවරයා පැවසීය.

CIDයට මහල් 15ක නව ගොඩනැගිල්ලක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා නවීන පහසුකම්වලින් සමන්විත මහල් 15ක ගොඩනැගිල්ලක් ඉදිකිරීමටද රජය සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා අනාවරණය කළේය.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන්නේ කොළඹ කොටුවේ පිහිටි ඉතා අබලන් ගොඩනැගිල්ලක බව ඔහු සඳහන් කළේය.

සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා ඇතුළු වර්තමානයේ වෙනස් වන අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අවශ්‍ය නවීන පහසුකම් සහිතව නව ගොඩනැගිල්ල ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.

ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනය සහ සැලසුම් සකස් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 500ක්, එනම් රුපියල් කෝටි 50ක් වෙන්කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

මෙම මුදල ගොඩනැගිල්ලේ සමස්ත ඉදිකිරීම් පිරිවැය නොව, මූලික අධ්‍යයන සහ සැලසුම් සකස් කිරීම සඳහා වන ප්‍රතිපාදනයකි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට මිලියන 180ක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කිරීම රජයේ ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දිගුකාලීන අරමුණක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඒ සඳහා සේනපුර සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

එම මධ්‍යස්ථානවල උපදේශන, ප්‍රතිකාර සහ වෘත්තීය පුහුණු පහසුකම් පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 180ක් වෙන්කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආගමන විගමන සහ දේශසීමා ආරක්ෂාවට මිලියන 6,200ක්

ආගමන හා විගමන ක්‍රියාවලිය නවීකරණය කිරීම සහ දේශසීමා ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහාද 2027 අයවැයෙන් නව ප්‍රතිපාදන යෝජනා කර තිබේ.

ඒ අනුව ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිපත්ති සහ ප්‍රමිතීන්ට අනුකූලව ආගමන විගමන කටයුතු පවත්වාගෙන යාම, දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීම සහ ආගමන විගමන සේවා ඩිජිටල්කරණය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වීසා සම්බන්ධ ගැටලු හේතුවෙන් තාවකාලිකව රඳවාගන්නා විදේශිකයන් සඳහා වත්තල පිහිටි තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමටද සැලසුම් කර තිබේ.

මීට අමතරව ත්‍රිකුණාමලයේ නව ආගමන විගමන කාර්යාල සංකීර්ණයක් ස්ථාපිත කිරීමටත්, ප්‍රාදේශීය මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමටත් අපේක්ෂා කෙරේ.

මෙම කටයුතු සඳහා රුපියල් මිලියන 6,200ක් වෙන්කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

ආයෝජනයේ ප්‍රමාණය සහ අනෙකුත් නිර්ණායක මත පදනම්ව ආයෝජකයන්ට නිත්‍ය පුරවැසිභාවය ලබාදීම සඳහා නීති සම්පාදනය කිරීමේ කටයුතුද ආරම්භ කර ඇති බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී සඳහන් කළේය.

ඒ අනුව 2027 අයවැයෙන් පොලිස් නිල ඇඳුම නවීකරණය කිරීම, පොලිස් රාජකාරි ඩිජිටල්කරණය, අපරාධ විමර්ශන පහසුකම් සංවර්ධනය, පොලිස් පුහුණු ආයතන නවීකරණය සහ ආගමන විගමන හා දේශසීමා ආරක්ෂණ පහසුකම් ඉහළ නැංවීම සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කර තිබේ.

Author

Leave a Reply

Related Posts