මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව අධිචෝදනා ලබා සිටින යුද හමුදා බුද්ධි නිලධාරීන් නවදෙනා අද (12) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විත්ති කූඩුවේ සිට තමන්ගේ විත්ති වාචිකය සහ ස්ථාවරය ප්‍රකාශ කළ අතර නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවීම ලබන නොවැම්බර් 19 වැනිදා සිදු කිරීමට අධිකරණය නියෝග කළා.
යුද හමුදා තුන්වැනි සන්නද්ධ බුද්ධි බලකායේ සේවය කළ බුද්ධි නිලධාරීන් නවදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 17ක් යටතේ මෙම නඩුව පවරා තිබුණා.
මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් අනතුරුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්ති වාචිකය නොකැඳවා තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තිකරුවන් විසින් මීට පෙර අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.
කෙසේ වෙතත් නයනා සෙනෙවිරත්න විනිසුරුතුමියගේ සභාපතිත්වයෙන් යුත් ලක්මාලි හේවාවසම් සහ නලින් හේවාවසම් යන විනිසුරු මඩුල්ල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විත්ති වාචිකය කැඳවීමට තීරණය කළ අතර ඒ අනුව අද පෙරවරු 9.30ට නඩුව කැඳවනු ලැබුවා.
අද දින විත්තිකරුවන් නවදෙනාම විත්ති කූඩුවේ සිට සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව තුන්වැනි සහ හතරවැනි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ නීතිඥ රනිල් සමරසූරිය යන මහත්වරුන් අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවාදායකයින් වෙනුවෙන් ඉදිරි දිනයේදී සාක්ෂිකරුවන් කැඳවීමට අපේක්ෂා කරන බවයි.
ඒ අනුව ඉදිරිපත් කළ සාක්ෂි ලැයිස්තුව මගින් තුන්වැනි විත්තිකරු වෙනුවෙන් සාක්ෂිකරුවන් හයදෙනෙකු සහ හතරවැනි විත්තිකරු වෙනුවෙන් සාක්ෂිකරුවන් දෙදෙනෙකු කැඳවීමට තීරණය කර ඇති බව අනාවරණය වුණා.
එම සාක්ෂිකරුවන් අධිකරණය හමුවට කැඳවීම සඳහා සිතාසි නිකුත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.
