අනුරාධපුර පූජා භූමියේ සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති මූලික සැලැස්ම තමන්ගෙන් ඉල්ලා සිටියේ හිටපු අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එම වැඩසටහන අධීක්ෂණය හා මඟපෙන්වීම සඳහා වැඩබලන අටමස්ථානාධිපති හිමියන්ගේ සම සභාපතිත්වයෙන් උපදේශන සභාවක් මේ වන විටත් පිහිටුවා ඇති බව පැවසූ ජනාධිපතිවරයා, ථූපාරාමය ඇතුළු විහාරස්ථාන කිහිපයක නායක ස්වාමීන් වහන්සේලා සිව්නමක්ද එම සභාව නියෝජනය කරන බව සඳහන් කළා.
අනුරාධපුර පූජා භූමියේ ඓතිහාසික හා ආගමික උරුමය ආරක්ෂා කරමින් එම ප්‍රදේශය සංවර්ධනය කිරීමේ සැලසුම් පැහැදිලි කරමින් 2027 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදි අනුරාධපුර පූජා භූමියේ මූලික සැලැස්ම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, එම සැලැස්ම හිටපු අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ තමන්ගෙන් ඉල්ලා සිටි දෙයක් බවයි.
“මේ අනුරාධපුර පූජා භූමියේ මූලික සැලැස්මම මේක හිටපු අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ ඉල්ලපු දේ මගෙන්. ඒ ඉල්ලපු දේ තමයි මේ කරන්න යන්නේ” යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එමෙන්ම අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේට හෝ එම ප්‍රදේශයේ සිටින අනෙකුත් නායක ස්වාමීන් වහන්සේලාට නොදැන පිටතින් පැමිණ ඇතැම් පිරිස් මේ සම්බන්ධයෙන් මැදිහත් වීම පිළිබඳවද ජනාධිපතිවරයා ප්‍රශ්න කළා.
“අටමස්ථාන නායක ස්වාමීන් වහන්සේට නොදැන, ඒ පැත්තේ ඉන්න අපේ අනෙකුත් නායක ස්වාමීන් වහන්සේලාට නොදැන මේ කවුදෝ ගිහිල්ලා එළියෙන් ගිහිල්ලා වාඩිවෙලා ඉන්නවා. මොනවද මේ විකාර?” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී විමසා සිටියා.
ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ, අනුරාධපුර පූජා භූමිය යනු මෙරට ඓතිහාසික උරුමයක් පමණක් නොව ජාතිය ගොඩනැඟීමේ ප්රමුඛ මධ්‍යස්ථානයක් බවයි.
එම උරුමය රැකබලාගෙන ආරක්ෂා කර අනාගත පරම්පරාවට සුරක්ෂිතව දායාද කිරීම වත්මන් පාලකයන්ගේ වගකීමක් බවත් එම වගකීම ඉටු කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන කටයුතු තනි ආයතනයකට සීමා නොකර ආයතන කිහිපයක් ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා පැවසුවා.
ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, අනුරාධපුර නගර සභාව සහ පළාත් සභාව එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපතිවරයා සඳහන්කළා.
පූජා භූමියේ පුරාවිද්‍යාත්මක හා පූජනීය වටිනාකම ආරක්ෂා කිරීම, බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම, මාර්ග ප්‍රතිසංස්කරණය සහ කසළ කළමනාකරණය ඇතුළු කටයුතු මෙම වැඩසටහනට ඇතුළත් වන බව ජනාධිපතිවරයා පෙන්වාදුන්නා.
මෙම සංවර්ධන වැඩසටහන සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් 2027 වසර වෙනුවෙන් රුපියල් මිලියන 1,076ක් දැනටමත් වෙන් කර ඇති බව පැවසු ජනාධිපතිවරයා, නාගරික සංවර්ධන අධිකාරිය විසින් සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 8,200ක ඇස්තමේන්තුවක් සකස් කර ඇති බවත් එයින් 2027 වසර සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා කර ඇති බවත් සඳහ්න් කළා.
මේ අතර අනුරාධපුර පූජා නගරයේ ප්‍රවාහන කටයුතුද නව සැලැස්මකට අනුව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළා.
ඒ අනුව ව්‍යාපෘතිය අවසන් වීමට ආසන්න වන විට අනුරාධපුර නගර සභාවට විදුලි බස් රථ සමූහයක් ලබාදීමට තමන් සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළා.
එම බස් රථ පූජා නගරය තුළ පමණක් ධාවනය කළ හැකි ආකාරයට සැලසුම් කරන බවත් ඒවා පාලනය කිරීමේ සහ මෙහෙයුම් කටයුතු සිදුකිරීමේ අයිතිය නගර සභාවට ලබාදීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසුවා.
එමෙන්ම මෙරට පූජනීය ස්ථාන, ඓතිහාසික කෞතුක වස්තු සහ සංස්කෘතික අනන්‍යතාවන් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම සඳහා ත්‍රිමාණ ස්කෑනිං වැනි ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීමටද රජය සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා පවසනවා.
මේ යටතේ අදාළ පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික උරුමයන්ගේ ත්‍රිමාණ ඩිජිටල් ආකෘති සකස් කර සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ඒ පිළිබඳව පැහැදිලි කරමින් ඔහු පෙන්වාදුන්නේ, මෙරට පවතින පෞරාණික උරුමයන් ඇතැම් විට ස්වාභාවික ආපදාවක් හෝ වෙනත් විනාශකාරී තත්ත්වයක් හේතුවෙන් විශාල ලෙස හානිවීමට හෝ සම්පූර්ණයෙන් විනාශවීමට ඉඩ ඇති බවයි.
එවැනි අවස්ථාවක විනාශයට පෙර එම උරුමයන් පැවති ආකාරය නිවැරදිව හඳුනාගැනීම අපහසු විය හැකි බැවින් ඒවායේ ත්‍රිමාණ ඩිජිටල් ආකෘති කල්තියා සකස් කර තබා ගැනීම වැදගත් බවද ඔහු පැවසුවා.
ඒ අනුව යම් උරුමයක් විනාශයට පත්වුවහොත් එහි පෙර පැවති ස්වරූපයට අනුරූපව නැවත සකස් කිරීම සඳහා එම ඩිජිටල් දත්ත ප්‍රයෝජනවත් වන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
මෙම ඩිජිටල් සංරක්ෂණ වැඩපිළිවෙළ මඟින් ස්වාභාවික ආපදා සහ කාලගුණික බලපෑම් හමුවේ වුවද ජාතික උරුමයන්ගේ නිවැරදි ත්‍රිමාණ ආකෘති දිගුකාලීනව ආරක්ෂා කරගැනීමට හැකි වනු ඇතැයි ඔහු සඳහන් කළා.
විවිධ ජාතීන් හා ආගම් සමඟ බැඳුණු කලා කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 7,000ක් වෙන් කර ඇති බව ජනාධිපතිවරයා පවසනවා.
මේ අතර දිට්වා ආපදාව හේතුවෙන් හානි වූ ආගමික ස්ථාන 1,328ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 722ක ප්‍රතිපාදන රජය විසින් සලසාදි ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළා.
ඒ අතර බෞද්ධ විහාරස්ථාන 758ක්, හින්දු ආගමික ස්ථාන 272ක්, මුස්ලිම් ආගමික ස්ථාන 199ක් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන 99ක් ඇතුළත් වන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
මීට අමතරව හානි වූ බෞද්ධ විහාරස්ථාන 30ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා බුද්ධශාසන අරමුදලින් රුපියල් මිලියන 40ක් වෙන් කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා, ආගමික සිද්ධස්ථානද ඇතුළත් පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලින් රුපියල් මිලියන 523ක් වෙන් කර ඇති බවද සඳහන් කළා.
එමෙන්ම අනගාරික ධර්මපාල භාරය හරහා ඉන්දියානු මහා බෝධි සංගමය පරිත්‍යාග කළ මුදලින් තවත් විහාරස්ථානයක් ප්‍රතිසංස්කරණය කරමින් පවතින බව ජනාධිපතිවරයා පැවසුවා.
මේ අතර 2026 වසරේදී ආරම්භ කරන ලද යතිවර මාපිය නිවාස වැඩසටහන 2027 වසරේදීද ක්‍රියාත්මක කිරීම සඳහා නිවාස හා ජල සම්පාදන අමාත්‍යාංශයට මුදල් වෙන් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
අනුරාධපුර පූජා භූමිය ඇතුළු මෙරට ඓතිහාසික හා ආගමික උරුමයන් ආරක්ෂා කිරීමේ කටයුතු දේශපාලන වුවමනාවන් සමඟ පටලවා නොගත යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, එවැනි මැදිහත්වීම් සම්බන්ධයෙන් තමන් තුළ ඇත්තේ ඉතා පිළිකුල් සහගත හැඟීමක් බවද ප්‍රකාශ කළා.
