පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂු සිසුන් සඳහා දැනට ලබාදෙන රුපියල් 15ක දෛනික දීමනාව රුපියල් 50 දක්වා ඉහළ නැංවීමට 2027 අයවැය මඟින් යෝජනා කර තිබෙනවා.
එමෙන්ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ගිහි සිසුන් සඳහා ලබාදෙන දෛනික දීමනාවද රුපියල් 25 දක්වා වැඩි කිරීමට යෝජනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) පාර්ලිමේන්තුවට 2027 අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා.
මෙම දීමනා සංශෝධනය 2027 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ජනාධිපතිවරයා පවසනවා.
නූතන ලෝකයට අවශ්‍ය මානව සම්පත ගොඩනැංවීමේදී අධ්‍යාපනයට විශාල වගකීමක් පැවරෙන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, ඒ සඳහා අධ්‍යාපනයේ ගුණාත්මක පරිවර්තනයක් මෙන්ම නව තාක්ෂණය සමඟ ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක්ද අවශ්‍ය බව අවධාරණය කළා.
ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ මානව සම්පත ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වාදුන්නා.
එමෙන්ම ගුරු විද්‍යාලවල පුහුණුව ලබන ශිෂ්‍ය ගුරුවරුන් මුහුණ දෙන මූල්‍යමය දුෂ්කරතා අවම කිරීම සඳහා දැනට ලබාදෙන මාසික දීමනාව රුපියල් 10,500 සිට රුපියල් 20,000 දක්වා ඉහළ නැංවීමටද අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
මෙම වැඩි කිරීම 2027 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
තමන් මෑතකදී නිල්වලා අධ්‍යාපන ආයතනයට ගිය අවස්ථාවේදී පුහුණුව ලබන ශිෂ්‍ය ගුරුවරුන් මුහුණ දෙන දුෂ්කරතා නිරීක්ෂණය කළ බවත් ඔවුන්ට දැනට ලබාදෙන දීමනාව ප්‍රමාණවත් නොවන බැවින් එය රුපියල් 20,000 දක්වා වැඩි කිරීමට තීරණය කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කලා.
මේ අතර සාරධර්මවලින් පිරිපුන් සහ සදාචාරාත්මක දරු පරපුරක් බිහිකිරීමේ අරමුණින් දහම් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ස්වේච්ඡාවෙන් දායක වන ගුරුවරුන් සඳහා ලබාදෙන වාර්ෂික දීමනාවද වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව දැනට රුපියල් 7,500ක් වන එම වාර්ෂික දීමනාව 2027 වසරේ සිට රුපියල් 12,500 දක්වා ඉහළ නැංවීමට නියමිතයි.
මේ අතර පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන ඉදිරි වසරේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ඒ සඳහා ඉදිරි වසර කිහිපය තුළද පාසල් නිල ඇඳුම් රෙදි පරිත්‍යාග කිරීමට චීන රජය සිය එකඟතාව පළ කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම රටට අවශ්‍ය මානව සම්පත ගොඩනැංවීමේ අරමුණින් ක්‍රියාත්මක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ මේ වන විටත් ආරම්භ කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළා.
ඒ අනුව එළඹෙන වසරේදී දෙවැනි සහ හයවැනි ශ්‍රේණි සඳහාද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට නියමිත බව ජනාධිපතිවරයා පෙන්වාදුන්නා.
අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, තාක්ෂණික පහසුකම් පුළුල් කිරීම සහ අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය කිරීම මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නා.
