අධිවේගී මාර්ග හතරක් හදන්න බිලියන සීයක්! – අයවැය 2027

රට පුරා මගී සහ භාණ්ඩ ප්‍රවාහනය කඩිනම් කිරීමත්, ග්‍රාමීය හා නාගරික මාර්ග ජාලය පුළුල් කිරීමත් අරමුණු කරගනිමින් 2027 ජාතික අයවැය මඟින් මාර්ග සහ පාලම් සංවර්ධනය සඳහා දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදනයක් වෙන් කර තිබේ.

2027 පුරවැසි අයවැය වාර්තාවට අනුව සමස්ත ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 458ක මුදලින් රුපියල් බිලියන 294.8ක්ම මාර්ග සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති අතර, පාලම් ඉදිකිරීම සඳහා තවත් රුපියල් බිලියන 19.2ක් වෙන් කර ඇත. මීට අමතරව, පවතින මාර්ග පද්ධතියේ පුනරුත්ථාපන හා නඩත්තු කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 40.6ක ප්‍රතිපාදන සලසා තිබේ.

මෙවර අයවැය මඟින් අධිවේගී මාර්ග ජාලය පුළුල් කිරීම සඳහා පමණක් රුපියල් බිලියන 100.3ක මුදලක් වෙන් කර තිබීම විශේෂත්වයකි. ඒ යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන අධිවේගී මාර්ග ව්‍යාපෘති සහ මූල්‍ය වෙන්කිරීම් පහත පරිදි වේ:

  • මධ්‍යම අධිවේගී මාර්ගය: මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා සහ පොතුහැර සිට ගලගෙදර දක්වා වූ මාර්ග කොටස් ඇතුළු ප්‍රමුඛතා අධිවේගී මාර්ග ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 79.0ක දැවැන්ත මුදලක් වෙන් කර ඇත.
  • රත්නපුර (රුවන්පුර) අධිවේගී මාර්ගය: කහතුඩුව සිට ඉංගිරිය දක්වා වූ අධිවේගී මාර්ග කොටසේ මූලික කටයුතු සිදු කිරීම සඳහා රුපියල් බිලියන 2.0ක් වෙන් කර තිබේ.
  • කුරුණෑගල – දඹුල්ල අධිවේගී මාර්ගය: මෙම අධිවේගී මාර්ග කොටසේ මූලික කටයුතු සිදු කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 3.2ක ප්‍රතිපාදන සලසා ඇත.
  • වරාය පිවිසුම් අධිවේගී මාර්ගය: කුළුණු මතින් ඉදිවන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා රුපියල් බිලියන 10.7ක් වෙන් කර තිබේ.

අධිවේගී මාර්ගවලට අමතරව, වඩාත් ආරක්ෂිත හා කඩිනම් ගමන් බිමන් තහවුරු කිරීම උදෙසා ජාතික මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමට රුපියල් බිලියන 89ක් වෙන් කර ඇත.

ඒ යටතේ දිවයින පුරා ජාතික මාර්ග කිලෝමීටර් 12,600ක් පමණ නඩත්තු කිරීමට හා වැඩිදියුණු කිරීමට රුපියල් බිලියන 31.2ක්ද, තෝරාගත් මාර්ග කොටස් පුළුල් කිරීමට රුපියල් බිලියන 22.0ක්ද වෙන් කර තිබේ. විශේෂයෙන්ම රත්නපුර සිට නාම්බපාන දක්වා සහ කටුගස්තොට සිට ගලගෙදර දක්වා වූ මාර්ග කොටස් ඇතුළු ප්‍රමුඛතා මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 10.0ක් වෙන් කර ඇති අතර, මාර්ග වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට රුපියල් බිලියන 3.5ක් සහ කොළඹ බේස්ලයින් මාර්ගයේ පිහිටි මංසන්ධි 11ක් වැඩිදියුණු කිරීමට රුපියල් බිලියන 0.4ක් වෙන් කර ඇත.

ජාතික මාර්ග ජාලයට අයත් පාලම් සහ ඊට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් බිලියන 11.0ක් වෙන් කර තිබේ. මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පිවිසුම් මාර්ගය ආශ්‍රිතව මෙන්ම අලව්ව හා මුත්තෙට්ටුගල දුම්රිය මාර්ග හරහා ගුවන් පාලම් ඉදිකිරීමට රුපියල් බිලියන 1.9ක්ද, කිරාන්, පොන්ඩුකලච්චේනයි, කෝකිලායි කලපුව හරහා සහ පුන්නියඩි තොටුපළ මාර්ගයේ පාලම් ඉදිකිරීමට රුපියල් බිලියන 1.5ක්ද මෙවර අයවැයෙන් වෙන් කර ඇත.

ග්‍රාමීය ජනතාවට රැකියා, වෙළෙඳපොළ සහ අත්‍යවශ්‍ය සේවා වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව සලසමින් ග්‍රාමීය මාර්ග සබඳතා වැඩිදියුණු කිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 80.5කි. ඒ අනුව දිවයින පුරා ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 2,000ක් පමණ වැඩිදියුණු කිරීමට රුපියල් බිලියන 31.0ක්, දීපව්‍යාප්ත ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනයට රුපියල් බිලියන 22.0ක්, ග්‍රාමීය පාලම් සංවර්ධනයට රුපියල් බිලියන 20.0ක් සහ පළාත්බද මාර්ග නඩත්තුවට රුපියල් බිලියන 7.5ක් වෙන් කර තිබේ.

මේ අතර, මාර්ග අනතුරු අවම කරමින් ප්‍රවාහන ආරක්ෂාව තහවුරු කිරීම සඳහාද රුපියල් බිලියන 4.4ක ප්‍රතිපාදන වෙන් කර ඇත. මාර්ග ජාලයේ අනතුරුදායක ස්ථානවල ආරක්ෂක වැටවල් ඇතුළු ආරක්ෂිත යටිතල පහසුකම් ඉදිකිරීමට ඉන් රුපියල් බිලියන 2.1ක් යෙදවෙන අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා රියදුරු දඬුවම් ලකුණු (Demerit Points) පද්ධතිය සහ ඩිජිටල් රියදුරු අකුසලතා ක්‍රමවේදය හඳුන්වා දීම සඳහා රුපියල් බිලියන 1.5ක් වෙන් කර තිබේ.

Author

Leave a Reply