අමතර සහාය අවශ්‍ය වන පවුල්, වැඩිහිටි පුද්ගලයින්, ආබාධ සහිත තැනැත්තන් සහ රෝගීන් ඇතුළු සමාජයේ අවදානමට ලක්විය හැකි ජන කොටස් සවිබල ගැන්වීම සඳහා සියල්ලන්ම ආවරණය වන සමාජ ආරක්ෂණ පද්ධතියක් ගොඩනැඟීම වෙනුවෙන් 2027 ජාතික අයවැය මඟින් රුපියල් බිලියන 912.5ක මුදලක් වෙන් කර තිබේ.
ඉන් රුපියල් බිලියන 907.1ක් පුනරාවර්තන වියදම් වන අතර රුපියල් බිලියන 5.4ක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කර ඇත.
මෙවර අයවැය මඟින් ආබාධ සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන්, වැඩිහිටියන් සහ අඩු ආදායම්ලාභීන් ඇතුළු විවිධ කාණ්ඩ වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රධාන දීමනා සහ සුබසාධන යෝජනා පහත පරිදි වේ:
- ආබාධ සහිත තැනැත්තන් සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් කර ඇති යෝජනා: අඩු ආදායම්ලාභී ආබාධිත තැනැත්තන් සඳහා මූල්‍ය සහාය ලබා දීම වෙනුවෙන් රුපියල් බිලියන 22.1ක ප්රතිපාදනයක් වෙන් කර ඇත. මීට අමතරව, විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා අවශ්‍ය පහසුකම්වලින් සමන්විත දිවා සුරැකුම් මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සඳහා තවත් රුපියල් බිලියනයක් වෙන් කර තිබේ. එමෙන්ම, මෙරට දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් ඔවුන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි 2027 පුරවැසි අයවැය ලේඛනය ඒක කේත (යුනිකෝඩ්) අකුරුවලින් ප්‍රකාශයට පත් කිරීමටද පියවර ගෙන ඇත.
- වකුගඩු රෝගීන් සඳහා මූල්‍ය සහාය සහ ප්‍රතිකාර පහසුකම්: වකුගඩු රෝගීන් සඳහා මූල්‍ය ආධාර ලබා දීම වෙනුවෙන් රුපියල් බිලියන 6.6ක මුදලක් වෙන් කර තිබේ. ඊට සමගාමීව රෝහල් පද්ධතිය තුළ වකුගඩු රෝගීන්ට අවශ්‍ය රුධිර කාන්දුකරණ (Dialysis) යන්ත්‍ර ඇතුළු උසස් තාක්ෂණික වෛද්‍ය උපකරණ සැපයීම සහ ගිලන්රථ සේවා පුළුල් කිරීම වෙනුවෙන් සෞඛ්‍ය වැය ශීර්ෂය යටතේ රුපියල් බිලියන 9.4ක් වෙන් කර ඇත.
- වැඩිහිටි ප්‍රජාව සහ විශ්‍රාමිකයන් වෙනුවෙන් හිමිවන දීමනා සහ සහන: වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා මූල්‍ය ආධාර ලබා දීම වෙනුවෙන් රුපියල් බිලියන 58.7ක විශාල මුදලක් වෙන් කර තිබේ. එමෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු ගිණුම් සඳහා ඉහළ පොලී අනුපාත ලබා දීමේදී ඇතිවන පොලී අනුපාත වෙනස පියවීම සඳහා රුපියල් බිලියනයක් වෙන් කර ඇත. රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින් 730,000කගේ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 425.0ක්ද, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 82.0ක්ද, පාරිතෝෂික දීමනා සඳහා රුපියල් බිලියන 63.0ක්ද, විශ්‍රාමිකයින්ගේ දුම්රිය බලපත්‍ර සඳහා රුපියල් බිලියන 0.96ක්ද වෙන් කර තිබේ. මීට අමතරව ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා තවත් රුපියල් බිලියන 5.2ක් වෙන් කර ඇත.
- අස්වැසුම සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ප්‍රදාන: අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහන සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 230.0ක් වෙන් කර ඇති අතර, ඉන් රුපියල් බිලියන 142.9ක් අඩු ආදායම්ලාභී පවුල් සඳහා සෘජු මුදල් ප්‍රදාන ලෙස ලබා දීමට නියමිතය.
- රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් දීමනා: මියගිය සහ තුවාල ලැබූ (ආබාධිත) රණවිරුවන් සඳහා වන සේවා වන්දි ගෙවීම වෙනුවෙන් රුපියල් බිලියන 60.0ක් වෙන් කර ඇත. තවද, රණවිරු මාපිය රැකවරණ වැඩසටහන සඳහා රුපියල් බිලියන 1.55ක් සහ රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල යහපැවැත්ම නඟාසිටුවීම සඳහා රුපියල් බිලියන 0.02ක් ආරක්ෂක වැය ශීර්ෂය යටතේ වෙන් කර තිබේ.
- ගර්භණී මව්වරුන්, ළමුන් සහ සිසුන් සඳහා විශේෂ දීමනා: ආයතනික රැකවරණය හා භාරකාරත්වය යටතේ පසුවන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන ආධාර දීමනා ලබා දීමට රුපියල් බිලියන 0.75ක්ද, පළාත් සභා හරහා ළමා නිවාසවල රැකවරණය හා ආරක්ෂාව සැපයීමට රුපියල් බිලියන 2.3ක්ද වෙන් කර ඇත. ගර්භණී මව්වරුන් සඳහා පෝෂ්‍යදායී ආහාර පැකේජයක් ලබා දීමට රුපියල් බිලියන 7.2ක් සහ ත්‍රිපෝෂ වැඩසටහනට රුපියල් බිලියන 4.0ක් වෙන් කර තිබේ. එමෙන්ම, පෙර පාසල් ගුරුවරුන් සඳහා ‘ගුරු අභිමානී’ දීමනාව ගෙවීමට රුපියල් බිලියන 1.19ක්, 5 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර සඳහා රුපියල් බිලියන 1.9ක්, මහපොළ සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාධාර සඳහා රුපියල් බිලියන 7.2ක් සහ වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ගේ ‘නිපුණතා සිසු දිරිය’ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් බිලියන 1.7ක්ද මෙවර අයවැයෙන් වෙන් කර ඇත.
