හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව රෝහල්ගත කර ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග අප වෙත තහවුරු කළේය.
අප වෙත අදහස් දැක්වූ ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග අනුව ඔහු කොළඹ පිහිටි ප්‍රකට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සදහා නවාතැන් ගෙන ඇත.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ අද දෙරණ වෙත ප්‍රකාශ කර ඇත්තේ එසේ පළවෙන වාර්තා අසත්‍ය බවයි.
හිරු ප්‍රවෘත්ති, නෙත් ප්‍රවෘත්ති ඇතුළු ප්‍රකට මාධ්‍ය ආයතන කිහිපයක්ද මහින්ද රාජපක්ෂව රෝහල්ගත කළ බව වාර්තා කළ පසුබිමක මනෝජ් ගමගේ එම ප්‍රවෘත්ති අසත්‍ය බව ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.
ඔහුගේ බිරිද ශිරන්ති රාජපක්ෂ ශිරන්ති රාජපක්ෂ විසින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ගොනු කළ ඇප අයදුම අද දිනයේදි විභාගයට ගත් අතර, එම ඇප අයදුම ප්‍රතික්ෂේප කරන ලදී. 13 වැනිදා ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විය.
හිටපු ජනාධිපතිවරයා අද රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා බැලීමට යාමට අපේක්ෂාවෙන් ද සිටි බවයි ඔහුට සමීප ආරංචිමාර්ග උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි. අප විසින් කළ විමසීම්වලදීද ඒ බව තහවුරු විය.
කෙසේ වෙතත් මනෝජ් ගමගේ මෙසේ කියා තිබේ.
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මේ අවස්ථාවේදී එතුමාට ආදරය කරන සියලු දෙනාට දැනුම් දෙනවා. මම හිතන්නේ විරුද්ධවාදීන් මේ වගේ අසත්‍ය සහ ද්වේෂසහගත ආරංචි නිතර දෙවේලේ පතුරුවා හරිමින්, මේ ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාමාර්ග හමුවේ එතුමා වැටිලා කියලා පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් අපි විරුද්ධවාදීන්ට කියන්න කැමතියි, එතුමාගේ පවුලේ සියලු දෙනා සිරගත කළත්, මහින්ද රාජපක්ෂ කියන්නේ ශාරීරිකව සහ මානසිකව ඉතාමත් ශක්තිමත් නායකයෙක්. මේ වගේ පුහු සහ අසත්‍ය ප්‍රචාරවලින් එතුමා වැනි දැවැන්ත පෞරුෂයක් බිඳ දැමිය හැකි යැයි සිතනවා නම්, ඒක සතුරන්ගේ සිහිනයක් විදිහටයි මම දකින්නේ. ඒ නිසා එතුමාට ආදරය කරන සියලුම ජනතාවට මම කරුණාවෙන් දැනුම් දෙන්නේ, මහින්ද රාජපක්ෂ මැතිතුමා ශාරීරිකව සහ මානසිකව ඉතාමත් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිය නිවසේ කාලය ගත කරන බවය. එතුමාට ආදරය කරන සියලුම ජනතාවටත්, එතුමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින අයටත් මේ පණිවිඩය දැනුම් දීමට කැමතියි.”
