දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ 17 වන වගන්තිය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයක් හා ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායකවරයා අද (සැප්තැම්බර් 22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
එම 17 වගන්තිය දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට අලුතෙන් ඇතුළත් කළ වගන්තියක් වන අතර ඒ මගින් කියා ඇත්තේ 1997 අංක 30 දරන ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව මෙම පනත යටතේ වන සියලු වැරදි සංඥෙය සහ ඇප දිය නොහැකි වැරදි විය යුතු බවයි.
පනත් කෙටුම්පතේ එය තවදුරටත් මෙසේ සඳහන් කර ඇත.‘එසේ වුවද, රුපියල් ලක්ෂයකට වඩා නොඅඩු අල්ලසක් ඉල්ලා සිටීම, පිළිගැනීම හා පිරිනැමීම පිළිබඳ සැක කරනු ලබන හෝ චෝදනා කරනු ලබන තැනැත්තකු හෝ දූෂණ වරද සිදුකිරීමෙන් රජයට රුපියල් ලක්ෂ පහකට නොඅඩු පාඩුවක් සිදු කරන ලද හෝ තමාට හෝ වෙනත් යම් තැනැත්තකුට රුපියල් ලක්ෂ පහකට නොඅඩු ප්‍රතිලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් අත් කර ගෙන ඇති, එකී වටිනාකම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන සහතිකයක් මගින් ස්ථීර කරනු ලැබ ඇති විට ඒ සැකකරු හෝ චූදිතයා වෙත මහාධිකරණයක් විසින් විශේෂ අවස්ථානුගත කාරණාවකදී හැර ඇප ලබා දෙනු නොලැබිය යුතුය.’
ඊට අමතරව එම පනත් කෙටුම්පතේ 6(7) හා 7 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇත. එසේ නොමැතිව එම වගන්ති සම්මත කිරීමට නම් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති නිර්දේශවලට අනුව සංශෝධනය කිරීමට පියවර ගත යුතු බව දැනුම් දී ඇත.
එසේම 11(2) වගන්තිය කාරක සභා අවස්ථාවේ යෝජිත සංශෝධන සහිතව සම්මත කරන්නේ නම් එයද සරළ බහුතරයකින් සම්මත කළ හැකි බව දැනුම් දී ඇත.
