බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසත්, අන්දමන් දූපත් ආසන්න මුහුදේ ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ රතු නිවේදනයක් නිකුත් කරමින් අද (21) උදෑසන දැනුම් දී තිබේ. මෙම අනතුරු ඇඟවීම ප්‍රධාන වශයෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන බහුදින ධීවර යාත්‍රා සඳහා බලපැවැත්වේ.
නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් මුහුද ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය, බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් මුහුද ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය, බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් සැප්තැම්බර් 21 වන දින නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට නියමිතය. අනතුරුව සැප්තැම්බර් 22 වන දින මෙය තවදුරටත් බලවත් වී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වන අතර, සැප්තැම්බර් 23 වන දින 0000 UTC ට පමණ උතුරු ආන්ද්‍රා ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරයට ආසන්නව, බටහිර මධ්‍යම සහ යාබද වයඹ දිග බෙංගාල බොක්ක ප්‍රදේශය වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇත.
අදාල සිතියම් සටහන්වල Advisory කාණ්ඩය යටතේ දක්වා ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55-65 දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වනු ඇත. එසේම, Warning අනතුරු ඇඟවීමේ කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු තීරයේ ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යාමත් සමග මුහුද ඉතා රළු විය හැකි බවට නිවේදනය කෙරේ.
උතුරු අක්ෂාංශ 5 ත් 22 ත් සහ නැගෙනහිර දේශාංශ 85 ත් 100 ත් අතර පිහිටි මුහුදු කලාපයේ නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වළකින ලෙස බලධාරීන් ඉල්ලා සිටී. මේ වන විටත් එම මුහුදු ප්‍රදේශයේ රැඳී සිටින ධීවර යාත්‍රා වහාම ඉන් ඉවත් විය යුතු අතර, ඉදිරියේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබේ.

