දුම්රිය වැඩවර්ජනය පිටුපස ඇත්තේ දේශපාලන අරමුණක් – කියන කියන පලියට ජීඑම්ආර් අයින් කරන්න බෑ – ප්‍රවාහන නියෝජ්‍ය ඇමති

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වහාම ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත්, මෙම වැඩවර්ජනය සංවිධානය කර ඇත්තේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ පරමාර්ථයෙන් බවත්, ඉල්ලන ඉල්ලන පලියට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීමට රජය සූදානම් නැති බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන අවධාරණය කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිටුපස සිටින කණ්ඩායම් පිළිබඳව මහජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි.

“කවුද මේ වෘත්තීය සමිති අරගලය කැඳවන්නේ කියලා නම කියද්දීම පැහැදිලියි. ප්‍රධාන වශයෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තමයි මෙය කැඳවලා තියෙන්නේ. මීට මාස දෙක තුනකට කලින් 22 වැනි සංශෝධනයට විරුද්ධව අත්සන් කරපු, එකතු වුණු වෘත්තීය සමිති එකතුවක් තමයි මේක පිටුපස ඉන්නේ. ඒගොල්ලන්ගේ එකම සටන් පාඨය 22ට විරුද්ධ වීමයි. මහජනතාවට සහ වෘත්තිකයන්ට මෙය 22ට එරෙහි අරගලයක් ලෙස පෙන්වන්නයි ඔවුන්ට ඕන කරන්නේ. ඒ කියන්නේ මෙය පැහැදිලිවම දේශපාලන අරමුණක් වෙනුවෙන් කෙරෙන එකක්.”

“අනිත් සමිති දිහා බැලුවත්, ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමය, දුම්රිය සමගි සේවක සංගමය වගේ සංගම්. ඒ නම්වලින්ම පැහැදිලියි කවුද මේවා පාලනය කරන්නේ, මොකටද ස්ට්‍රයික් කරන්නේ කියලා,” යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අපද්‍රව්‍ය හා ස්වාභාවික ආපදා හමුවේ දුම්රිය සේවකයන් කැපවීමෙන් කටයුතු කළ ආකාරය අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙසේද සඳහන් කර තිබේ.

“කඳුරට මාර්ගයේ මහනුවර සහ පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය ඔක්තෝබර් මුල පටන් ගන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඊයේ රෑත් පේරාදෙණිය දුම්රිය ස්ථානයේ සේවකයෝ එළිවෙනකම් කැපවීමෙන් වැඩ කළා. ඒ සේවකයන්ට අපේ ගෞරවය හිමිවිය යුතුයි. නමුත් ඉතා සුළු වෘත්තීය සමිති ප්‍රමාණයක් තමයි මේ ස්ට්‍රයික් එක කැඳවලා තියෙන්නේ.”

“වෘත්තීය සමිති නායකයෝ අරගලයකට කෝල් කරද්දී සාමාජිකයන්ට ඊට අනුගත වෙන්න සිද්ධ වෙනවා. නමුත් සමස්ත දෙපාර්තමේන්තුවේ සේවකයන්වත්, වර්ජනය කැඳවපු යූනියන්වල ඉන්න බහුතරයක් සේවකයන්වත් හදවතින්ම මේ අරගලයට එකඟ නැහැ.”

අවසාන වශයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටියේ, “ආණ්ඩුවක් විදිහට කවුරු හරි කියන කියන පලියට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාව ධුරයෙන් අයින් කරන්න බැහැ. ඒ සඳහා කිසිදු හැකියාවකුත් නැහැ,” යන්නයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading