රේණුක පෙරේරා 29 වැනිදා දක්වා රිමාන්ඩ්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද දින අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කර තිබේ.

නීති විරෝධී ලෙස බස් රථ සඳහා මාර්ග ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ සිද්ධියකට අදාළව අද පෙරවරුවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන මෙන්ම 2014 සැප්තැම්බර් 19 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල තීරණයේ නිර්දේශයන්ට පටහැනිව දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56ක් නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව නිකුත් කිරීම මොහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි.

එමෙන්ම අදාළ අවසරපත් සඳහා අයවිය යුතු වාර්ෂික ගාස්තු එකවර අය කර ගැනීමට කටයුතු කර නොමැති බවද අල්ලස් කොමිසම අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Author

Related Posts