බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා බලයක් නොමැති බවත්, එම කටයුත්ත පොලිසිය විසින් සිදුකළ යුතු බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති සමාව අවලංගු කර සිර දඬුවම ස්ථිර කර ඇති ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව Whatnews කළ විමසීමකදීය.
ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය වෙත කිසියම් දැනුම්දීමක් සිදුකර තිබේදැයි කළ විමසීමේදී, එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, මීට පෙර Whatnews කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත නිල වශයෙන් ලැබෙන තුරු ඥානසාර හිමියන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට නොහැකි බවයි.
මෙවැනි පසුබිමක් තුළ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව මේ වන විට සිර දඬුවම් විඳිමින් සිටිය යුතු ඥානසාර හිමියන් අද (සැප්තැම්බර් 16) කොළඹ මහාධිකරණය හමුවේ පැවති නඩු කටයුත්තකට පෙනී සිටීමෙන් අනතුරුව නැවත පිටව ගොස් තිබේ.
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග කුමන ආකාරයෙන් සිදුවනු ඇත්ද යන්න පිළිබඳව මේ වන විට සමාජ අවධානය යොමුව තිබේ.
