හංගේරියාවේ සහ ස්විට්සර්ලන්තයේ පැවති මලල ක්‍රීඩා ශූරතාවලින් ජයගෙන මෙරටට පැමිණි ලෝක හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගගේ ජයග්‍රාහී හෙල්ල 5ක් ම තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයකදී විනාශ වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු ඔහුගේ ක්‍රීඩා දිවිය හා ඔලිම්පික් සිහිනය ආරක්ෂා කිරීම වෙනුවෙන් වහාම මැදිහත් වන බව රජය අවධාරණය කළා.
Ultimate සහ Diamond ලීග් ශූරතාවලින් රන් පදක්කම් දිනාගත් රුමේෂ් තරංග, ඊයේ (15) තුර්කියේ ඉස්තාන්බුල් සිට TK-730 දරන තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
නමුත් ඔහුට ගුවන්තොටුපොළෙන් දැඩි කනගාටුවකින් පිටවීමට සිදුවුණා.
ඒ ඔහුගේ ජයග්‍රහණ පිටුපස තිබූ ප්‍රධානතම ආයුධය වූ මිල අධික හෙල්ල 5ක් ම යානයේදී සිදුවූ අතපසුවීමකින් සම්පූර්ණයෙන්ම කැඩී බිඳී ගොස් තිබීම හේතුවෙනි.
මෙම විනාශ වූ හෙල්ල අතර හංගේරියාවේ බුඩාපෙස්ට් නුවරදී මීටර් 91.09ක දුරක් සහ ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරදී මීටර් 92.07ක දැවැන්ත දුරක් වාර්තා කිරීමට ඔහු භාවිතා කළ සුවිශේෂී හෙල්ල ද ඇතුළත්.
කටුනායක ගුවන් තොටුපොළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුමේෂ් පැවසුවේ, මෙම හෙල්ල ඉදිරි ආසියානු ක්‍රීඩා උළෙලට, 2027 ලෝක ශූරතාවලියට සහ 2028 ඔලිම්පික් තරගාවලියට භාවිතා කිරීමට මෙන්ම, ඉන් අනතුරුව සිය ජයග්‍රහණයේ සිහිවටන ලෙස තබා ගැනීමට තමන් සැලසුම් කර තිබූ බවයි.
එමෙන්ම මව්බිමට මෙවැනි අග්‍රගන්‍ය ශූරතා ද්විත්වයක් දිනා දීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් නිහතමානීව සතුටට පත්වන නමුත් එම ජයග්‍රාහී හැඟීමෙන් යුතුව ගුවන් තොටුපොළෙන් පිටවීමට තමන්ට නොහැකි වූ බවත් මීටර් 92 සීමාව ඉක්මවා යමින් දක්ෂතා දැක්වීමට තමන්ට උපකාරී වූ වටිනා හෙල්ල 5ක් ම ගුවන් ගමන අතරතුරදී සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් රුමේෂ් තරංග සඳහන් කළා.
එසේ වුවද තම ගමන මෙතෙකින් නතර නොවන බව පැවසු ඔහු, කුමන බාධක හෝ අභියෝග පැමිණියද ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු, ලෝක මෙන්ම ඔලිම්පික් තරගාවලි නියෝජනය කරමින් එම පදක්කම් ත්‍රිත්වයම අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට දිනා දෙන බවට වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර සිය කැඩී ගිය හෙල්ලවල ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමේ පළ කරමින්, තුර්කි ගුවන් සේවයට ස්තූතියක් පුද කිරීමට ද ඔහු කටයුතු කර තිබුණා.
මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ ගුවන් සේවයට එරෙහිව ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ දින අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, ක්‍රීඩා අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත රුමේෂ්ට අවශ්‍ය නව හෙල්ල ලබා දීමට කටයුතු කරන බවයි.
රුමේෂ් තරංග ක්‍රීඩකයා යනු ශ්‍රී ලංකාවේ ඔලිම්පික් රන් පදක්කම් සිහිනය යථාර්ථයක් බවට පත් කිරීම උදෙසා සිටින අමිල ජාතික සම්පතක් බවත් එබැවින් ඔහුගේ ඉදිරි ක්‍රීඩා දිවිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙන්ම ඔහුට අවශ්‍ය සියලු රැකවරණය සහ පහසුකම් ලබා දීම වෙනුවෙන් රජයක් ලෙස කළ හැකි උපරිම මැදිහත්වීම සහ සහයෝගය නොපිරිහෙළා ඉටු කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
ගුවන් සේවා මගින් ක්‍රීඩකයන්ගේ අත්‍යවශ්‍ය උපකරණවලට හානි සිදුවීම ජාත්‍යන්තර මලල ක්‍රීඩාවේ නිතර කතාබහට ලක්වන, දැඩි විවේචනයට බඳුන් වන මාතෘකාවක් වනවා.
