ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අනුව මේ වන විට සිර දඩුවම් ලබමින් සිටිය යුතු ගලගොඩඅත්තේ ඥාණසාර හිමි කොළඹ මහාධිකරණය වෙත පැමිණ නඩුවකට පෙනී සිට නැවත ගොස් තිබේ.
ඒ අනුව ඥාණසාර හිමිට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් නියම වූ සිර දඩුවම ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබද සහ එය ක්‍රියාත්මක කළ යුත්තේ කවුරුන් විසින්ද යන්න පිළිබද සමාජ කතිකාවක් ඇතිව තිබේ.
එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඥාණසාර හිමි කියා තිබෙන්නේ ‘නීතියට අපි හිස නවන්න ඕනනේ. මං දැක්ක ඔය හැමතැනම අන්තර්ජාලයේ අතුරුදන්වෙනවාය කියලා, අතුරුදන්වෙන්නේ දුර්වලයොනේ. අපි රට වෙනුවෙන් මුහුණදෙනවා. පලා යන්නෙත් නෑ. බය වෙන්නෙත් නෑ.‘ යනුවෙනි.
අද දනයේදී ඔහු පෙනී සිටි නඩුව ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා ඇති නඩුවකි. නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෙම නඩුව ලබන 30 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ අංක අට විනිසුරු බුද්ධික සී. රාගල නියම කර තිබේ.
නඩුව ඉක්මනින් අවසන් කරවාගැනීම පිළිබද කරුණු ඉදිරිපත් වී ඇති බවත්, වාර්තා වේ.
කෙසේ වෙතත් මේ වනවිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රදානය කළ ජනාධිපති සමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
ඒ අනුව ඔහුට හිමි සිර දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා බන්ධනාගාර නිලධාරීන් රාජගිරියේ විහාරස්ථානයට ගොස් ඇති අතර හිමි විහාරස්ථානයේ රැදී සිට නැත.
අද කැදවු නඩුවට පාදක වී ඇත්තේ 2014 අප්‍රේල් 12 වැනිදා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය අසලදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මාධ්‍ය වෙත කළ ප්‍රකාශ කිහිපයකි. එහිදී ඉස්ලාම් දහම සහ කුරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශ මගින් මුස්ලිම් ජනතාවගේ ආගමික හැඟීම් රිදවා ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී තිබුණි. ඒ සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කළ අතර, අදාළ ප්‍රකාශ ඇතුළත් වීඩියෝ දර්ශනද විමර්ශනයට භාජනය කර තිබිණි.
මෙම සිද්ධියට පෙර, 2014 අප්‍රේල් 9 වැනිදා කොළඹ නිපොන් හෝටලයේදී වටරැක විජිත හිමි සහභාගි වූ මාධ්‍ය හමුවකට ඥානසාර හිමි ඇතුළු බොදුබල සේනා සාමාජිකයන් පිරිසක් පැමිණීම සම්බන්ධයෙන් වෙනම සිද්ධියක් වාර්තා වී තිබුණි. එම සිද්ධියට අදාළව පොලිසියට ප්‍රකාශයක් ලබාදීම සඳහා ඥානසාර හිමි කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත කළ ප්‍රකාශ වර්තමාන මහාධිකරණ නඩුවට පාදක වී තිබේ.
නීතිපතිවරයාගේ උපදෙස් මත දණ්ඩ නීති සංග්‍රහයේ 291A වගන්තිය යටතේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබුණි. එම වගන්තිය යටතේ, යම් පුද්ගලයකුගේ ආගමික හැඟීම් රිදවීමේ අරමුණින් වචන හෝ වෙනත් ආකාරයකින් ප්‍රකාශ සිදුකිරීම වරදක් ලෙස සැලකේ.
2026 අප්‍රේල් 30 වැනිදා අදාළ අධිචෝදනා ඥානසාර හිමියන්ට භාරදී තිබූ අතර ඔහු ඇප මත මුදාහැර තිබුණි. පසුව පැවති පූර්ව නඩු විභාග ක්‍රියාවලියේදී අදාළ ප්‍රකාශ ඇතුළත් වීඩියෝ සහ ශබ්ද පටිගත කිරීම්ද නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණයට දැනුම්දී තිබුණි.
