සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් පදනම් විරහිත විවේචන හා අපහාස කිරීම් සිදුකරන බවත් මේ සියලු දේ සැලකිල්ලට ගෙන සමාජ මාධ්‍ය යම්කිසි නියාමනයකට ලක් කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බවත් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පවසති.
සමාජයේ සෑම අංශකටම පහර ගැසීම සඳහා ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය භාවිත කරන බවත් ඒ සම්බන්ධයෙන් විවේචනයක් හෝ කරන්නට බැරි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් උන්වහන්සේලා ප්‍රකාශ කරති.
ජාතික මාධ්‍ය පදනම මගින් වයස අවුරුදු 16 ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය භාවිතයේදී ආරක්ෂිත මාධ්‍ය උපමාන, ආචාර්ධර්මමය මාර්ගෝපදේශ සකස් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් සකස් කළ කරුණු 10 කින් යුත් යෝජනාවලියක් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමට පෙරේදා (13) පිළිගැන්වූ අවස්ථාවේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම මේ බව පැවසූහ.
සමාජ මාධ්‍ය වල හානිකර බලපෑම් වලින් මෙරට දරු පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා ආගමික නායකත්වයේ මැදිහත් වීම අපේක්ෂා කරමින් මෙම යෝජනවාලිය සකස් කර තිබිණි.
මෙහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුම් පාසල් දරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ක්‍රියාකාරකම් වලට යොමුවී අවසානයේ සියදිවි නසා ගන්නා තත්ත්වයට පත්වන බව මාධ්‍ය මගින් අසන්නට දකින්නට ලැබෙන්නේ යැයි පැවසූහ.
වයස අවුරුදු 16 ට අඩු පාසල් දරුවන් අතට ජංගම දුරකතනය වැඩි වශයෙන් ගියේ කොරෝනා සමයේ බවද එම කාලවකවානුවේදී අධ්‍යාපන කටයුතු පවා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ බවත් කී මල්වතු මහනාමියන් අන්තර්ජාලය මගින් ලබාගත හැකි යහපත් දේට වඩා දරුවන් අයහපත් දේ ග්‍රහණය කර ගන්නා තත්ත්වයක් පෙනෙන්නට ඇතැයිද අවධාරණය කළහ.
සමාජ මාධ්‍ය නියාමනය පිළිබඳව කතා කරන්නට පවා ඇතැමුන් බියවන පසුබිමක ජාතික මාධ්‍ය පදනම ඒ සම්බන්ධයෙන් කතිකාවක් ගොඩනැගීම අගය කරන බව ද උන්වහන්සේ කීහ.
මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණතරන මහනාමියන් ඇතැම් පාසල් සිසුන්ගේ ජීවිතයම ජංගම දුරකතනය බවට පත්ව ඇතැයි ප්‍රකාශ කළහ. තරුණ පරපුර මත්ද්‍රව්‍ය හා මත්පැන් වලට යොමු වීමට සමාජ මාධ්‍ය මගින්ද යම් බලපෑමක් සිදුවන තත්ත්වයක් පෙනෙන්නට තිබෙන්නේ යැයිද පැවසූහ.
අස්ගිරි පාර්ශවයේ අනුනායක, කැලණිය විශ්වවිද්‍යලායේ කුලපති නාරම්පනාවේ ආනන්ද නාහිමියන් අදහස් දක්වමින් සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහිවීම ගිහි සමාජයට පමණක් නොව පැවැදි සමාජයටද ගැටලුවක් වී ඇතැයි ප්‍රකාශ කළහ.
පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර හිමිවරු පවා මෙම බලපෑමට ලක්ව සිටින බවත් මෙම ව්‍යසනයෙන් ළමා පරපුර බේරා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යය වී තිබෙන බවත් උන්වහන්සේ පැවසූහ.
කෙනෙකු ගොඩනගා ගත් කීර්ති නාමය මොහොතකින් සමාජ මාධ්‍ය ඔස්සේ නැතිකර දැමිය හැකි බවත් එවැනි සිදුවීම් වර්තමානයේදී කොතෙකුත් අසන්නට දකින්නට ලැබෙන බවත් අනුනාහිමයෝ ප්‍රකාශ කළහ.
ජාතික මාධ්‍ය පදනමේ ජ්‍යෙෂ්ඨ උපදේශක, ශ්‍රී පාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා කතා කරමින් මනුෂ්‍යත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සමාජ මාධ්‍ය යොදා ගැනීමේ අවශ්‍යතාවක් පැන නැගී තිබෙන්නේ යැයි පැවසීය. යුරෝපීය රටවල් මෙන්ම ඔස්ට්‍රෙලියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් මේ වනවිට සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් නොයෙකුත් තීන්දු තීරණ ගෙන තිබෙන බවත් මෙහිදී ඇතැම් රටවල් අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරන්නට පවා පියවර ගෙන තිබෙන බවත් ඒ මහතා කීය.
සමාජ මාධ්‍ය නියාමනය සදහා ගෙන එන ලද මාර්ගගත පනත ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවද මහචාර්යවරයා පැවසුවේය. වර්තමාන පරපුර බොහෝ විට උපදෙස් ලබා ගන්නේ දෙමව්පියන්, ගුරුවරුන් හෝ ආගමික නායකයින්ගෙන් නොව ෆේස් මිතුරන්ගෙන් හෝ AI මගින් බවත් ඔවුන් ඒ කෙරෙහි දැඩි විශ්වාසයක් තැබීම තුළ බරපතළ සමාජ පිරිහීමක් ඇති වෙමින් තිබෙන බවත් කී ඒ මහතා සමාජ මාධ්‍ය නියාමනය සඳහා දැන් හෝ විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීම අත්‍යවශ්‍යය බවද අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ජාතික මාධ්‍ය පදනමේ සභාපති චන්ද්‍රපාල ලියනගේ, ලේකම් කපිල ප්‍රසන්න, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය රංජිත් ප්‍රේමලාල්ද සිල්වා, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තනූජා හේරත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සංජය ජයමාන්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
