මුදල් විශුද්ධිකරණය, ත්රස්තවාදයට මුදල් සැපයීම සහ ඊට සම්බන්ධ මූල්‍ය අපරාධවලට එරෙහි සටන තවදුරටත් බැංකු, මූල්‍ය ආයතන සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පමණක් සීමා කළ නොහැකි බව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බුවනෙක අලුවිහාරේ මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ පළමු ජාතික මුදල් විශුද්ධිකරණ විරෝධී සම්මන්ත්‍රණය අමතමින් ඔහු මේ බව පැවසීය.
නීති ක්ෂේත්රයේ වෘත්තිකයන්ටද මෙරට මූල්‍ය හා නීති පද්ධතිවල අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා වැදගත් වගකීමක් පැවරී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ නීතිමය රාමුව සාම්ප්‍රදායික මූල්‍ය ක්ෂේත්රයෙන් ඔබ්බට පුළුල් වී ඇති බවත්, ඒ අනුව ගණකාධිකාරීවරුන්, විගණකවරුන්, සුරැකුම්පත් වෙළෙඳපොළට සම්බන්ධ පාර්ශ්ව, ඉහළ වටිනාකමකින් යුත් වත්කම් අලෙවිකරුවන්, භාර සහ සමාගම් සේවා සපයන්නන් මෙන්ම නීති වෘත්තිකයන්ටද වගකීම් පැවරී ඇති බවත් ඔහු සඳහන් කළේය.
නීතිඥවරුන් මෙම රාමුවට ඇතුළත් කර ඇත්තේ නවීන වාණිජ හා මූල්‍ය ගනුදෙනුවලදී ඔවුන්ට සුවිශේෂී භූමිකාවක් හිමිවන නිසා බවද විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා පැවසීය.
දේපළ ගනුදෙනු, සමාගම් සහ භාර පිහිටුවීම හා කළමනාකරණය කිරීම මෙන්ම වත්කම්වල හිමිකාරිත්වය සහ පාලනය නිර්මාණය කිරීම, පැවරීම හෝ සඟවා තැබිය හැකි වෙනත් කටයුතුවලටද නීතිඥවරුන් සම්බන්ධ වන බව ඔහු සඳහන් කළේය.
මෙවැනි කටයුතු නීත්‍යානුකූල වෘත්තීය කටයුතු වුවද, අපරාධකරුවන් විසින් නීති විරෝධී මුදල්වල හිමිකාරිත්වය, මූලාශ්‍රය, ගමන් මාර්ගය හෝ අවසන් ගමනාන්තය සැඟවීමට එම ක්‍රමවේද භාවිත කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
එබැවින් එවැනි ගනුදෙනු සඳහා පහසුකම් සපයන වෘත්තිකයන් තම සේවාදායකයන් පිළිබඳ නිසි අවබෝධයක් ලබාගැනීම, අවශ්‍ය අවස්ථාවල සැබෑ ප්රතිලාභ ලබන හිමිකරුවන් හඳුනාගැනීම, ගනුදෙනුවේ අරමුණ අවබෝධ කරගැනීම, සැක සහිත ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටීම සහ නීතිමය වගකීම් සම්පූර්ණයෙන් ඉටු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.
නීති වෘත්තියේ වගකීම නියාමන අනුකූලතාවයට පමණක් සීමා නොවන බවත්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය පවත්වා ගැනීම සමඟ එය සෘජුව බැඳී ඇති බවත් විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා පැවසීය.
නීතිඥවරයෙකුට තම වෘත්තීය සේවය අපරාධවලින් උපයාගත් මුදල් සඟවා තැබීමට, මාරු කිරීමට, පරිවර්තනය කිරීමට හෝ නීත්‍යානුකූල මුදල් බවට පත් කිරීමට දැනුවත්ව භාවිත කිරීමට ඉඩ දිය නොහැකි බවද ඔහු සඳහන් කළේය.
මේ අතර, නීති වෘත්තීය රහස්‍යභාවය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ විනිසුරු අලුවිහාරේ මහතා, එය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ මූලික ආරක්ෂාවක් සහ අත්‍යවශ්‍ය අංගයක් බව අවධාරණය කළේය.
කෙසේ වෙතත්, එම ආරක්ෂාව අපරාධ සඳහා පහසුකම් සැලසීමට හෝ අපරාධවලින් උපයාගත් දේපළ සඟවා තැබීමට භාවිත නොකළ යුතු බවද ඔහු පැවසීය.
නීති වෘත්තීය රහස්‍යභාවය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ වගකීම් එකිනෙකට පරස්පර මූලධර්ම ලෙස නොසැලකිය යුතු බවත්, නීති පද්ධතියේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා වන එකිනෙකට අනුපූරක ආරක්ෂණ ක්‍රමවේද ලෙස ඒවා සැලකිය යුතු බවත් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
