මෙට්‍රෝ බස් රථ සේවය හඳුන්වා දී ඇත්තේ සාමාන්‍ය බස් මගීන් සඳහා නොව, පෞද්ගලික වාහන භාවිත කරන පුද්ගලයන් සඳහා බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (සැප්තැම්බර් 8) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඒ අනුව, පෞද්ගලික වාහන භාවිත කරන්නන් එම වාහනවලින් ඉවත් කර පොදු ප්‍රවාහන සේවාව වෙත යොමු කිරීම මෙට්‍රෝ බස් රථ සේවාවේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එම අරමුණ ඉටු කර ගැනීම සඳහා සෑම මෙට්‍රෝ බස් නැවතුම්පොළක්ම ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ පහසුකම් සහිත ස්ථානයක් බවට පත් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන පරාමිතීන් සහ යෙදුමක් (App) අනුව පෞද්ගලික අංශයටද වාහන නැවැත්වීමේ ස්ථාන (Park) පවත්වාගෙන යමින් ආදායමක් උපයා ගැනීමට අවස්ථාව සැලසෙන බවද අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය අංශයේ සියලු ආයතන සවස 5.00න් පසු වසා තබන බැවින්, එම ඉඩකඩ සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා මුදල් අය කර මුරකරුවෙකු යොදවා වාහන නැවැත්වීම සඳහා ලබාදෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. එමෙන්ම, පෞද්ගලික අංශයේ බැංකු සහ සුපිරි වෙළෙඳසැල් සතු රථගාල්ද කාර්යබහුල වේලාවන් හැර අනෙකුත් වේලාවන්හිදී මුදල් අය කර වාහන නැවැත්වීම සඳහා ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
සැප්තැම්බර් අග වන විට මෙට්‍රෝ බස් රථ 122ක් සේවයට එක් කිරීමට නියමිත බවත්, මෙම වසර අවසානයේ හෝ ලබන වසර මුල වන විට තවත් බස් රථ 50ක් එක් කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මීට අමතරව, ජපාන රජයෙන් ත්‍යාගයක් ලෙස බස් රථ 8ක් සහ චීන රජයෙන් විදුලි බස් රථ 100ක් ලබාදීමට පොරොන්දු වී ඇති බවද ඔහු පැවසීය.
ඒ අනුව, ලබන වසර වන විට මෙට්‍රෝ බස් රථ 272කින් සමන්විත ඇණියක් මගින් දිවයිනේ තවත් දිස්ත්‍රික්ක ගණනාවකට මෙම සේවාව පුළුල් කිරීමට හැකි වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
