සෙවණගල සම්පූර්ණයෙන් වැහුවේ නෑ! සභාපතිවරු 3ක් මාරු වුණ හේතුවත් සුනිල් හඳුන්නෙත්ති කියයි!

සෙවණගල සීනි කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම වසා නොදැමූ බවත් අගෝස්තු 25 වැනිදා සේවකයන් හදිසි වැඩවර්ජනයකට යාම හේතුවෙන් වසා දැමීමට සිදුවූයේ එහි ඇඹරුම් අංශය පමණක් බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, වසර දෙකක් තුළ සීනි සමාගමට සභාපතිවරුන් තිදෙනෙකු පත් කිරීමට සිදුවූයේද හිටපු සභාපතිනියට සහ ප්‍රධාන විධායක නිලධාරිනියට වෘත්තීය සමිති සහ පෙර පැවති දේශපාලන අධිකාරීත්වය හමුවේ එල්ල වූ දැඩි බලපෑම් හා කාර්යාල තුළ සිරකර තැබීම් වැනි සිදුවීම් හේතුවෙන් බවයි.

එමෙන්ම සේවකයන් මාසික වැටුපද ලබාගෙන, පැමිණීමේ ලේඛනයට සහ අතිකාල දීමනාවලටද අත්සන් කර කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මෙලෙස වැඩවර්ජනයක නිරත වීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවද ඊයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන සංවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.

සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය ගත් තීරණය පිළිබඳව මාධ්‍යවේදියා නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මාධ්‍යවල වාර්තා වූ ආකාරයේ වැරැද්දක් පවතින බවත් වසා දැමුවේ ඇඹරුම් අංශය පමණක් බවයි.

සේවකයන් විසින් ඉල්ලා සිටි පිරිස් බල සැලැස්ම (Cadre plan) අනුමත කිරීමේ අවසන් අදියරට පැමිණ තිබියදී ඊට අමතරව වරින් වර ලබාදුන් සියලු දීමනාද එකතු කර ඉල්ලා සේවකයන් වර්ජනයට ගිය බව සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සේවකයන්ම අධිකරණයට ගොස් තිබූ බැවින් අමාත්‍යාංශයට ඒකපාර්ශ්විකව තීරණ ගත නොහැකි වූ බවත් අනුමත කාඩර් එකක් ලැබීමෙන් රජයේ වැටුප් වැඩිවීම්, ආපදා ණය සහ අර්ථසාධක අරමුදල් හිමිකම් සියල්ල සුරක්ෂිත වන බව සේවකයන්ට පහදා දීමෙන් පසු එම ගැටලුව විසඳී ඔවුන් නැවත සේවයට වාර්තා කළ බවත් ඔහු ප්‍රකාශ කළා.

තමන්ව මුණගැසීමට අවස්ථාවක් නොලැබෙන බවට වෘත්තීය සමිති නගන චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, ඕනෑම අවස්ථාවක සාකච්ඡා සඳහා ඉඩ විවර කර දී ඇති බව එහිදි කියා සිටියා.

වසර දෙකක් තුළ සභාපතිවරුන් තිදෙනෙකු පත් කිරීමට සිදුවීම පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා කියා සිටියේ, පෞද්ගලික අංශයේ සේවය කළ රුක්ෂාන් ගුණතිලක මහතා මාස හයක එකඟතාවක් මත පැමිණ විශාල දායකත්වයක් ලබාදුන් බවත් ඔහුගේ මව් ආයතනයෙන් දකුණු ආසියානු කලාපීය මට්ටමේ උසස් වගකීමක් හිමිවීම නිසා ඔහුගේම ඉල්ලීම පිට නිදහස් කළ බවයි.

එමෙන්ම සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය යන දෙදෙනාම කාන්තාවන් වූ අතර කාඩර් සැලැස්ම සකස් කිරීමට යාමේදී ඔවුන්ට පෙර පැවති පාලනයන් විසින් පෝෂණය කරන ලද දේශපාලන බල අධිකාරීත්වයන් සහ වෘත්තීය සමිති වෙතින් දැඩි මානසික පීඩනයක් එල්ල වූ බව සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පවසනවා.

ඔවුන්ව කාර්යාල තුළ සිරකර තබාගැනීම් පවා සිදුවූ බැවින් බිම් මට්ටමේ එවැනි ගැටුම්කාරී පරිසරයක කටයුතු කිරීමේ අපහසුතාව මත ඇති කරගත් එකඟතාවක් අනුව ඔවුන් ඉල්ලා අස් වූ බව අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේවෙතත් මේ වන විට ඉන් අනතුරුව නව සභාපතිවරයා ලෙස වසන්ත අතුල කුමාර මහතා පත්කර තිබෙනවා.

මේ අතර 2021දී රුපියල් මිලියන 125ක්, 2022දී මිලියන 6,000ක් සහ 2023දී රුපියල් මිලියන 2,000කට වැඩි ලාභයක් ලැබූ ආයතනයක්, 2024 වසරේදී විශාල අලාභයක් කරා ඇද වැටීමට බලපෑ ප්‍රධාන හේතු කිහිපයක් පෙන්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2023 දී රුපියල් 302ක් වූ කර්මාන්තශාලා සීනි කිලෝවක මිල රුපියල් 192 දක්වා පහත වැටීම සහ 2024 ජනවාරි 01 සිට දේශීය සීනි සඳහා 18%ක වැට් (VAT) බද්ද පැනවීම බවයි.

එමෙන්ම උක් මෙට්‍රික් ටොන් එකකට ගෙවූ මුදල රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා ඉහළ යාම, සීනි කිලෝ එකකින් සමාගමට රුපියල් 122ක පාඩුවක් සිදුවන අතර, එම පාඩුව පියවා ගනු ලබන්නේ උක් මොලෑසස් මඟින් නිපදවන එතනෝල් අලෙවියෙන් බව අමාත්‍යවරයා සඳහන්කළා.

මෙරට එතනෝල් ඉල්ලුමෙන් 20%ක් පමණ ආනයනික බඩඉරිඟු සහ සහල් මඟින් නිපදවන එතනෝල් මඟින් ආදේශ වීම බව පැවසූ සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා, එතනෝල් ලීටරයක් රුපියල් 800කට අලෙවි විය යුතු වුවත්, තරඟකාරී ආදේශක නිසා ලීටරයකින් රුපියල් 300ක පමණ පාඩුවක් දැරීමට සිදු වූ බව පැවසුවා.

තවද ගල්ඔය සහ ඇතිමලේ වැනි තරඟකාරී පෞද්ගලික සමාගම්වල සැපයුම හේතුවෙන් දේශීය මත්පැන් නිෂ්පාදකයන් වෙතින් පැවති ඉල්ලුම බෙදී යාමද ඊට ඇතුළත් බව අමාත්‍යවරයා සඳහන් කළා

සීනි සමාගම සම්පූර්ණයෙන්ම පෞද්ගලිකකරණය කිරීමේ අදහසක් රජයට නොමැති බව පැහැදිලි කළ සුනිල් හඳුන්නෙත්ති මහතා, පාඩු පියවා ගැනීම සඳහා නව උපායමාර්ගික සැලසුම් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළා.

ඒ අනුව යාල ජාතික වනෝද්‍යාන මායිමේ පිහිටි සෙවණගල සහ පැල්වත්ත ආශ්‍රිත උක් වගා නොකරන භූමියෙන් අක්කර 300ක් කුඩාඔය ආශ්‍රිතව හඳුනාගෙන ඇති අතර, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ පරිසර හිතකාමී සංචාරක විලාස්ස හ හෝටල් සංකීර්ණ ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අමාත්‍යවරයා පවසනවා.

මීට අමතරව, කර්මාන්තශාලා අපද්‍රව්‍ය සහ මොලෑසස් අතුරු ඵල භාවිතයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් පර්යේෂණ මට්ටමින් නැවත සලකා බලමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා..

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading