යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂට සබඳතා ඇති බව කියන මහනුවර දොළොස්බාගේ ප්‍රදේශයේ අක්කර 135ක තේ වත්තක් අත්පත් කරගැනීම පිළිබඳව අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පුද්ගලයන් කිහිපදෙනෙකු සහ සමාගමක් මැදිහත් කරගනිමින් මෙම දැවැන්ත දේපළ අත්පත් කරගෙන ඇති බවට චෝදනා කරමින් “අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බල”‘ සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා විසින් පසුගිය අගෝස්තු 20 වැනිදා PCID අධ්යක්ෂවරයා වෙත විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
එම පැමිණිල්ල පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව දැනුම් දෙමින් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය විසින් පැමිණිලිකාර කාමන්ත තුෂාර මහතාට ලිඛිතව දැනුම් දී ඇත්තේ ලබන සැප්තැම්බර් 14 වැනිදා පෙරවරු 9.00ට පොලිස් මූලස්ථානය හමුවේ පෙනී සිටින ලෙසයි.
එහිදී ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිත අතර අදාළ චෝදනාව තහවුරු කිරීමට තමන් සතු සියලු ලේඛන සහ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ද ඔහුට දැනුම් දී තිබෙනවා.
විමර්ශනයට ලක්ව ඇති මෙම ස්ථානය දොළොස්බාගේ පිහිටි “කෙලී ගෲප්” වතුයාය ආශ්රිත අක්කර 135ක සරුසාර තේ ඉඩමක් වන අතර 1918 වසරේ ඉදිකරන ලද ඓතිහාසික පැරණි බංගලාවක් ද ඊට ඇතුළත් බව වාර්තා වනවා.
දේපළ ගනුදෙනුව තහවුරු කිරීමට අදාළ ඔප්පු අංක 1386 සහ සැලසුම් අංක 787 ඇතුළු ලියකියවිලි තමන් සතුව පවතින බව පවසන පැමිණිලිකරු ඒවා විමර්ශන නිලධාරීන් හමුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වුණා.
මෙම සැකකටයුතු ඉඩම් ගනුදෙනුව පිටුපස “ඔසඳ ප්ලාන්ටේෂන්ස්” නමැති සමාගමක් ක්‍රියාත්මක වී ඇති බවට පැමිණිල්ලේ සඳහන් වන අතර එම සමාගමට ඍජුවම සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අනන්යතාවන්ද විමර්ශන අංශ වෙත බාරදී තිබෙනවා.
මීට පෙර අගෝස්තු 06 වැනිදාද මෙම ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතද කාමන්ත තුෂාර මහතා විසින් පැමිණිල්ලක් යොමු කර තිබුණා.
රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් නීතිවිරෝධී වත්කම් උපයාගැනීම සහ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම මඟින් විමර්ශන රැසක් ක්‍රියාත්මක වනවා.
යෝෂිත රාජපක්ෂ මහතා මීට පෙර CSN නාලිකාවට අදාළ මුදල් විශුද්ධිකරණ චෝදනා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
