නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදුව තිබෙන රුපියල් කෝටි දෙකක අස්වැසුම මුදල් වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂන කටයුතු වලට අදාළව හැටන් අධ්‍යාපන කලාපයේ පාසැල් ගුරුවරු හය දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
වැඩ තහනමට ලක්වූ පිරිස අතර ගුරුවරුන් පස් දෙනෙකු සහ එක් ගුරුවරියක සිටින බව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ විගණන නිලධාරින් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන අංශ නිලධාරින් පරීක්ෂණ පවත්වති.
අස්වැසුම මුදල් මෙම ගුරුවරුන් හය දෙනාගේ ගිණුම් වලට මුදල් බැරවී තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව තිබේ.
ඒ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියට වාර්තා කිරීමෙන් පසු දිස්ත්‍රික් ලේකම්වරිය විසින් ඒ බව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය වෙත දැනුම් දී ඇත.
එම මුදල් වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ හැටන් පොලිස් කොට්ඨාස විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් සිදුකරනු ලබයි. හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේදි නඩුව 08 දින යළි කැඳවනු ලැබීය.
මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව එහිදී පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
