ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සංක්‍රමණ සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින්, දෙරට අතර ශ්‍රම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දෙරට අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස වසර 05 ක කාල සීමාවක් සඳහා මෙම ගිවිසුම් අත්සන් තැබීමට නියමිත අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
මෙම යෝජිත ගිවිසුම්වලට අත්සන් තැබීම තුළින් ප්‍රධාන වාසි කිහිපයක් අත්කර ගැනීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, ශ්‍රම ක්ෂේත්රයට අදාළව දෙරටේ නිසි බලධාරීන් අතර නිල සම්බන්ධතාව තහවුරු වන අතර, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තායිලන්තයට යැවීම සහ ගෙන්වා ගැනීම විනිවිදභාවයෙන් හා විධිමත්ව සිදු කිරීම සඳහා ව්‍යුහගත වැඩපිළිවෙළක් ද සකස් කෙරේ.
තවද, තායිලන්තයේ රැකියාවල නියුක්ත වන මෙරට ශ්‍රමිකයින්ගේ නීතිමය අයිතිවාසිකම්, සුබසාධනය සහ ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම, නීති විරෝධී ලෙස සිදුවන මිනිස් වෙළඳාම වැළැක්වීමට ද මෙයින් අවශ්‍ය පසුබිම සැලසෙන බව පැවසේ.
