GovPay නමින් ඔන්ලයින් වංචාවක්! නොරැවටෙන්නැයි පොලිසියෙන් පණිවිඩයක්!

රථවාහන වැරදි සඳහා මාර්ගගතව දඩ මුදල් ගෙවීමට වෙනම කිසිදු නිල වෙබ් අඩවියක් නොමැති බැවින් ‘GovPay’ නමින් ව්‍යාජ වෙබ් සබැඳි ජංගම දුරකථන වෙත යොමු කරමින් ජනතාවගේ මුදල් සහ සංවේදී බැංකු දත්ත සූක්ෂ්මව සොරාගන්නා මූල්‍ය වංචාවලට හසු නොවන ලෙස රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ඩී.ජේ. සේනාධීර මහතා පවසනවා.

ජනතාවගේ කටයුතු පහසු කිරීම සහ මුදල් ගනුදෙනුවලදී සිදුවන අක්‍රමිකතා අවම කිරීමේ අරමුණින් රථවාහන වැරදි වෙනුවෙන් ‘GovPay’ නීත්‍යානුකූල ගෙවීම් ක්‍රමවේදය මේ වසර මුලදී දිවයින පුරා හඳුන්වා දෙනු ලැබුවා.

කෙසේ වෙතත් එම පද්ධතියේ නම අවභාවිත කරමින් සකස් කරන ලද ව්‍යාජ වෙබ් අඩවි හරහා මේ දිනවල සැලසුම් සහගත ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා.

විශේෂයෙන්ම මේ දිනවල බොහෝ පුරවැසියන්ගේ WhatsApp ගිණුම් වෙත “Sri Lanka Police Traffic Department – Speed Violation Payment” යන ශීර්ෂය යටතේ විශේෂ පණිවිඩයක් ලැබෙමින් පවතින බවත් අදාළ පණිවිඩය තුළ අසත්‍ය නඩු අංකයක් ද සඳහන් කරමින් රියදුරා විසින් වේග සීමා උල්ලංඝනය කර ඇති බවත් අදාළ දඩ මුදල දින දෙකක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත් යනාදියෙන් කරුණු දක්වා ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

එමෙන්ම දින දෙකක් ඇතුළත නොගෙවුවහොත් අමතර ගාස්තුවක් අයකරන බවටත් දින 30ක් ඉක්මගිය පසු අධිකරණ ක්‍රියාමාර්ග ගෙන වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවටත් බොහෝ පුරවැසියන්ගේ WhatsApp ගිණුම් වෙත යවා ඇතැයි අනාවරනය වී ඇති බව ඔහු පවසනවා.

මෙම පණිවිඩය සම්පූර්ණයෙන්ම ජනතාව බියගන්වා මුදල් සහ බැංකු ගිණුම් තොරතුරු කොල්ලකෑම සඳහා සැකසූ වංචනික ක්‍රියාවක් (Scam) බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වාදෙනවා.

ඔහු පවසන්නේ, රථවාහන වැරදි සඳහා ක්ෂණිකව දඩ ගෙවීමට ඇති එකම නීත්‍යානුකූල මාර්ගගත ක්‍රමවේදය ‘GovPay’ පමණක් බවයි.

එමෙන්ම පොලිස් නිලධාරියෙකු විසින් වාහනයක් නතර කර දඩ පත්‍රිකාවක් නිකුත් කරන අවස්ථාවකදී, එම දඩ මුදල GovPay ක්‍රමය හරහා ගෙවීම සඳහා ක්ෂේත්‍ර රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් සතුව විශේෂ තාක්ෂණික උපාංග සහ දුරකථන පවතින බවට පැවසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා,එම මුදල් ගෙවීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිදුවිය යුත්තේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියා ඉදිරිපිටදීම පමණක් වන අතර, පසුව ගෙවීමක් කරන්නේ නම් ඒ සඳහා උපදෙස් සහ තොරතුරු ලබාගත යුත්තේ අදාළ පොලිස් නිලධාරියා නිකුත් කරන නිල දඩ පත්‍රිකාව පදනම් කරගෙන පමණක් බවට සඳහන් කළා.

ඒ අනුව කිසිදු විටෙක කෙටි පණිවිඩ හෝ WhatsApp හරහා ලැබෙන නාඳුනන වෙබ් සබැඳි මත ක්ලික් කර බැංකු කාඩ්පත් තොරතුරු ඇතුළත් නොකරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සීටියා.

Author

Related Posts