කබානා ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් දෙකෝටි හැටලක්ෂයක (ලක්ෂ 260) මුදලක් වංචා කර විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් කෑගල්ල මහනගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයෙකු ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා ඊයේ නියෝග කර තිබේ.
කෑගල්ල මහනගර සභාවේ ඔළගම කොට්ඨාසය නියෝජනය කරන, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කසුන් මධුසංඛ බණ්ඩාර නමැති මන්ත්‍රීවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකරු කෑගල්ල – යට්ටෝගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, මෙම වංචාව සම්බන්ධයෙන් එම අපරාධ විමර්ශන කාර්යාංශයට මෙන්ම කෑගල්ල පොලිසියටද පැමිණිලි කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි රමේෂ් තිලාන් නැමැති ව්‍යාපාරිකයා විසිනි.
පැමිණිලිකරු විසින් මුලින්ම කෑගල්ල පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, එහිදී පොලිසිය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇත.
තමාට අයත් කෑගල්ල දීවෙල මාර්ගයේ මිනුවන්ගමුව ප්‍රදේශයේ ඇති ඉඩමක කබානා ව්‍යාපෘතියක් සකස් කර දීමට යැයි කියමින් මෙම NPP මන්ත්‍රීවරයා රුපියල් දෙකෝටි හැටලක්ෂයක මුදලක් තමාගෙන් ලබාගත බවත් එය ඉදිකර නොදී වංචා කර එම මුදල් සාවද්‍ය පරිහරණය කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය සහ කොළඹ මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ‘බී’ වාර්තා මගින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
