චූලා පත්මේන්ද්‍රාගේ පශ්චාත් මරණ පරීක්ෂණයදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලබා දුන් තීන්දුව

ජාත්‍යන්තර මට්ටමේ නිරූපණ ශිල්පිනියක සහ මෝස්තර නිරූපිකාවක වූ චූලා පත්මේන්ද්‍රාගේ හදිසි මරණය සම්බන්ධයෙන් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ඊයේ (1) විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

දකුණු කොළඹ කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී චමින්ද රොද්‍රිගු මහතා විසින් ඊයේ මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබේ. උදෑසන ආරම්භ වූ පරීක්ෂණ කටයුතු සවස 5.00 ට පමණ අවසන් වී ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ මියගිය නිරූපණ ශිල්පිනියගේ සිරුරේ බාහිර හෝ අභ්‍යන්තර වශයෙන් කිසිදු තුවාල සලකුණක් නොමැති බවයි.

මරණයට නිශ්චිත හේතුව තහවුරු කරගැනීම සඳහා සිරුරේ අභ්‍යන්තර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යැවීමට පියවර ගෙන තිබේ.

එම රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් අනතුරුව මරණයට හේතුව දැක්වෙන අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන බව අධිකරණ වෛද්‍යවරයා පිළියන්දල පොලිසියට දැනුම් දී තිබේ.

පිළියන්දල, තුම්බෝවිල ගංගාරාම මාවතේ පිහිටි නිවාස සංකීර්ණයක කෝටිපති ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක නිදන කාමරයකදී ඇගේ සිරුර සොයාගනු ලැබුණි. අදාළ ව්‍යාපාරිකයා ඇය අවදි කිරීමට උත්සාහ කළද ප්‍රතිචාරයක් නොදැක්වීම සහ ඇඳ ඇතිරිල්ලේ ලේ පැල්ලම් දක්නට ලැබීම නිසා 1990 සුවසැරිය ගිලන් රථ සේවය වෙත දැනුම් දී ඇත. අනතුරුව සුවසැරිය කාර්ය මණ්ඩලය පරීක්ෂා කර ඇය මියගොස් ඇති බව තහවුරු කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා මෙන්ම මියගිය නිරූපිකාවගේ මව විසින්ද පිළියන්දල පොලිසියට පැමිණිලි කර ඇත. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ උපදෙස් මත පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු කණ්ඩායමක් මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා වැඩිදුර විමර්ශන සිදු කරයි.

මියයන විට 46 වැනි වියෙහි පසුවූ චූලා පත්මේන්ද්‍රා මහත්මිය ලෝක විවාහක රූ රැජින කැරලයින් ජූරි ඇතුළු ප්‍රමුඛ පෙළේ නිරූපණ ශිල්පිනියන් රැසකගේ පෞද්ගලික පුහුණුකාරිනියක ලෙස කටයුතු කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading