අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස සේවය කළ ශානි අබේසේකර මහතා එම දෙපාර්තමේන්තුවේම ඊට ඉහළ තනතුර වන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීමක් ලබා තිබෙනවා.
ඒ අනුව ඔහු එම දෙපාර්තමේන්තුවේ සියලු රාජකාරී සහ වැඩ කටයුතු අධීක්ෂණය කරමින් එම දෙපාර්තමේන්තුවේම කටයුතු කරනු ඇති.
ඔහු තව වසරක පමණ කාලයක් පොලිස් සේවයේ කටයුතු කරනු ඇති බවත්, එයින් පසු ගෞරවණීය ලෙස විශ්‍රාම යෑමට ඉඩ ලැබෙනු ඇති බවත්, වට්නිව්ස් වෙත අදහස් දැක්වූ පොලිසියේ ඉහළ නිලධාරියෙකු පැවසුවා. ඔහුව අපකීර්තියට පත් කොට, ඔහුගේ කටයුතුවලින් ඉවත් කොට සේවයෙන් පහ කළ පසුබිම නිසා ඔහු ඒ වන විටත් කරමින් සිටි විමර්ශනවල අවසානයක් දැකීමේ අපේක්ෂාවෙන් නැවත සේවයට බදවාගත් බව එම නිලධාරියා පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් ශානි අබේසේකර මහතාගේ උසස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතා පත් කර තිබෙනවා.
විශේෂ රාජකාරි පදනම මත මෙම පත්කිරීම සිදු කර තිබෙන අතර, ජාතික පොලිස් කොමිසමෙන් ඊට අනුමැතිය ලැබෙන තෙක් ඔහු රාජකාරී ආවරණ පදනම මත කටයුතු කරනු ඇති.
රොෂාන් අමරසිංහ මහතා මේ දිනවල චීනයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගි වීමට ගොස් සිටින අතර, ඉදිරි සතියේ ඔහු මෙරටට පැමිණි පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ භාර ගනු ඇති.
ඔහුව සීඅයිඩීයට පත් කිරිමෙන් පුරප්පාඩු වූ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටි ඒ.එස්.කේ. බණ්ඩාර මහතා පත් කර තිබෙනවා.
