ප්‍රවීණ ගායන ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු ද වූ ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු කලක් තිස්සේ රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් විට ඇති අතර ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කර තිබේ.
මියයන විට ප්‍රියංකර පෙරේරා 64 වන වියෙහි පසු වූ අතර ඔහු ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අමරණීය සලකුණක් වූ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහතාගේ පුත්‍රයෙකු වේ. ඔහු සිය පියාගෙන් හිමි වූ සංගීත දායාදය සහ රසික හදවත් සොරාගත් හඬ කෞශල්‍ය ඉදිරියට ගෙ නයමින් දශක ගණනාවක් පුරා ලාංකේය රසික හදවත් දිනා ගැනීමට සමත් විය.
තමන්ටම ආවේණික වූ මධුර ස්වරයෙන් ප්‍රේක්ෂකයින් පිනවූ ප්‍රියංකර පෙරේරා මහතා, “රන් පොකුණෙන් දිය නාගෙන”, “සිහින දෙව්දුවේ”, “අගාධ සාගරයේ”, “කියන්න කවුද ඔබ කියා”, “සන්සුන් රුවන්”, “පැතූ පෙම් පැතුමන්” සහ “පිස්සු විකාරේ (ආච්චිගේ පොල් කටු මාලේ)” වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළේය.
ගායනයට පමණක් සීමා නොවූ ඒ මහතා, චිත්‍රපට මෙන්ම ටෙලිනාට්‍ය රැසකටද රංගනයෙන් දායක වෙමින් දක්ෂ රංගන ශිල්පියෙකු ලෙස සිය සැබෑ හැකියාවන් සලකුණු කළ අතර, ඔහුගේ හදිසි අභාවය පිළිබඳ පුවත සැලවීමත් සමඟ කලා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් ඇතුළු සමස්ත රසික ජනතාව සිය ශෝකය පළ කර සිටිති.
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට (03) දිනබොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බවට වාර්තා වන අතර ඔහුගේ දේහය අද දහවල් සිට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට නියමිතය.
