වසර 30කට පසු ටුපාක් ඝාතන නඩුවේ තීන්දුව එයි

සවුත් සයිඩ් කොම්ප්ටන් ක්‍රිප්ස් යන කල්ලියේ නායකයෙකු වූ ඩුවේන් “කීෆ් ඩී” ඩේවිස්, ජනප්‍රිය රැප් සංගීත තරුවක් වූ ටුපාක් ෂකුර්ගේ ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් ලාස් වේගාස් අධිකරණයක දී සැප්තැම්බර් 1 දින වරදකරු බවට පත් වී තිබේ.

වසර 30 කට ආසන්න කාලයක් “කෝල්ඩ් කේස්” එකක් ලෙස සැලකූ මෙම ඝාතන නඩුවේ පළමු වරදකරු බවට පත්ව ඇත්තේ ඔහුය.

ලාස් වේගාස්හි දී 1996 සැප්තැම්බර් 7 වැනිදා ධාවනය වන රථයක සිට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මියගිය ටුපාක් ෂකුර්ගේ ඝාතනය සම්බන්ධයෙන්, මාරාන්තික ආයුධයක් භාවිත කර සිදු කළ ඝාතනයක් යන චෝදනාවට අදාලව ඩුවේන් ඩේවිස් වරදකරු බව ජූරි සභාව තීරණය කර ඇත.

ටුපාක් ෂකුර් ඝාතනය වන විට ඔහුට වයස අවුරුදු 25ක් වූ අතර, එවකට ඔහු රැප් සංගීතයේ වඩාත්ම බලපෑම් සහගත කලාකරුවන්ගෙන් එක් අයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතයේ ඉහළම අවස්ථාවක සිටියේය. ඔහුගේ ගීත ඇල්බම් සහ වාර්තා ලොව පුරා පිටපත් මිලියන 75කට වැඩි ප්‍රමාණයක් අලෙවි වී ඇත.

නඩු විභාගයේදී පැමිණිලි පාර්ශ්වය තර්ක කළේ, ඩුවේන් ඩේවිස් විසින් වෙඩි තැබීම සිදු නොකළද, ඝාතනයට නියෝග කළේ ඔහු බවත්, ඔහුගේ බෑණනුවන් වූ ඕලන්ඩෝ ඇන්ඩර්සන් විසින් වෙඩි තැබීමට භාවිත කළ ගිනි අවිය සැපයුවේද ඔහු බවයි.

එම වෙඩි තැබීම සිදු වූයේ, ටුපාක් ෂකුර් සහ ඔහු සමඟ සිටි පිරිස සමඟ ඕලන්ඩෝ ඇන්ඩර්සන් ලාස් වේගාස්හි දී පැය කිහිපයකට පෙර ඇති වූ ගැටුමකට පළිගැනීමක් ලෙස බවත් පැමිණිලිකරුවන් පවසා ඇත.

මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂියක් වූයේ ඩුවේන් ඩේවිස් විසින්ම සිදුකළ ප්‍රකාශයන්ය. මාරාන්තික වෙඩි ප්‍රහාර එල්ල කළ සුදු පැහැති කැඩිලැක් රථය තුළ තමන් සිටි බව ඔහු අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේ පිළිගෙන තිබුණි.

2008 දී නොටෝරියස් බී.අයි.ජී ලෙස ප්‍රසිද්ධ වූ තවත් රැප් කලාකරුවෙකු වන ක්‍රිස්ටෝෆර් වෝලස්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ රහසිගත පොලිස් සාකච්ඡාවකදී ද ඩුවේන් ඩේවිස් විසින් ටුපාක් ෂකුර් ඝාතන සිද්ධියේ තමන්ගේ භූමිකාව පිළිබඳව බලධාරීන්ට පවසා තිබුණි.

2019 දී පළ කළ තම මතක සටහන් ග්‍රන්ථය වන කොම්ප්ටන් ස්ට්‍රීට් ලෙජන්ඩ් තුළින්ද ඩුවේන් ඩේවිස්, ටුපාක් ෂකුර් ඝාතනයේ තම භූමිකාව පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කළේය.

කෙසේ වෙතත්, ඔහුගේ ග්‍රන්ථය සහ මාධ්‍ය සාකච්ඡා හේතුවෙන් බලධාරීන් සමඟ ඔහු කලින් ඇති කරගෙන තිබූ ආරක්ෂිත ගිවිසුම අහිමි විය.

එම ගිවිසුම යටතේ ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම වැළැක්වී තිබුණි. නමුත් අධිකරණය තීරණය කළේ එම පොලිස් සම්මුඛ සාකච්ඡාවේදී ඔහු කළ ප්‍රකාශ ඔහුට එරෙහි ඝාතන නඩුවේදී සාක්ෂි ලෙස භාවිත කළ හැකි බවයි.

අවසන් තර්කයේදී පැමිණිල්ලේ නීතිඥ බිනු පලාල් ජූරි සභාවට පැවසුවේ ඩුවේන් ඩේවිස්ගේම වචන මත විශ්වාසය තබා ඔහුව වරදකරු කරන ලෙසයි.

නඩු විභාගය පුරා ඩුවේන් ඩේවිස්ගේ නීතිඥවරු ජූරි සභාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කර ඇත්තේ ඔහුගේ සියලු ප්‍රකාශ නිර්මාණය කළ කතා බවයි. පොත් අලෙවි කර මුදල් උපයා ගැනීම සඳහා ඔහු අතිශයෝක්තියෙන් සහ පුරසාරම් දොඩමින් කතා කළ බව ඔවුහු පැවසූහ.

කෙසේ හෝ සැප්තැම්බර් 1 දින ඩුවේන් ඩේවිස්, ටුපාක් ෂකුර් ඝාතනය සැලසුම් කිරීමට වරදකරු බවට ජූරි සභාව මගින් තීන්දු කර ඇත. ඒ අනුව ඔහුට දඬුවම් නියම කිරීම ඔක්තෝබර් 13 වැනිදා සිදුකරන බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

ඩුවේන් ඩේවිස් පවසා ඇත්තේ මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading