ගැමුණුගේ නවතම සොයාගැනීම: පෙට්‍රල් අඩු කිරීමෙන් මාර්ග තදබදය වැඩි වෙනවා…

පෙට්‍රල් මිල පහත වැටීමත් සමඟ දිවයින පුරා මාර්ග තදබදය තවදුරටත් දැඩි ලෙස වර්ධනය වී ඇති බවත්, පසුගිය වසර එකහමාරක කාලය තුළ පමණක් වාහන ලක්ෂ හතකට ආසන්න සංඛ්‍යාවක් අලුතින් ලියාපදිංචි වී ඇති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අනාවරණය කරයි.

මාර්ග තදබදය සහ වාහන භාවිතය පිළිබඳව තමන් විසින් විශේෂිත සමීක්ෂණයක් කරන බවත් එහි මූලික සොයාගැනීම් බව පවසමින් ඔහු පෙන්වා දෙන්නේ, පවතින තත්ත්වය හමුවේ රටේ ප්‍රවාහන පද්ධතියට සහ මාර්ග පද්ධතියට දැරිය නොහැකි තරම් බරක් පැටවී ඇති බවයි. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මෙසේ පැවසීය.

මට දැනගන්න ලැබුණා, දැන් මෙවන විට ලංකාවට ඒ කියන්නේ ගිය අවුරුද්දේ මේ අවුරුදු එකහමාර, එකයි මාස හත වගේ කාලය තුළ මෝටර් රථ පමණක් ගෙනැල්ලා තියෙනවා අවුරුදු එකහමාරකට 1,34,391ක්. මේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්තයන් අනුව තමයි ලියාපදිංචි වෙලා තියෙනවා අවුරුදු එකහමාර තුළ, ඒ කියන්නේ ජූනි මාසය තුළ, ජූනි මාසය වෙනකොට.

ඒ වගේම ත්‍රිරෝද රථ 40,855කුත්, ඒ වගේම මෝටර් සයිකල්, විශේෂයෙන්ම යතුරුපැදි 4,89,171ක්. ඒ කියන්නේ මේ අවුරුදු එකහමාර තුළ සාමාන්‍යයෙන් ලක්ෂ හතක් වාහන, අනෙක් වාහනත් එක්ක ලියාපදිංචි වෙලා තියෙනවා.

ඉතින් මේක බරපතල අර්බුදයක්. මාර්ග තදබදයට බරපතල අර්බුදයක්. මා මේ සමීක්ෂණය තාම අවසන් කරලා නැහැ. මට පොලිස් වාර්තා කිහිපයක් තියෙනවා ලැබෙන්න. කෙසේ වෙතත්, මම දැනට කරලා තියෙන සමීක්ෂණය අනුව ලංකාවේ වර්ග කිලෝමීටර එකකට වාහන 275ක් තියෙනවා. වාහන 275ක්. ඒ කියන්නේ දල වශයෙන් බැලුවොත්, සමස්තයක් විදිහට බැලුවාම ලංකාවේ ජනගහනයෙන් හතරෙන් තුනකට වාහන තියෙනවා.

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට තවදුරටත් දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බැවින්, ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් ඔස්සේ රථවාහන පාලනයට සහ විධිමත් පොදු ප්‍රවාහන සේවයක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවට හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading