ශබ්ද දූෂණය කරන පන්සල්, පල්ලි සහ පාටි ගැන පොලීසියට දැනුම් දෙන්නට අවස්ථාවක්! ශබ්ද දූෂනයට එරෙහිව නීතිමය පියවර ගන්න බව පොලීසිය නිවේදනය කරයි!

මහජනතාවට පීඩා වන අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ අනෙකුත් ශබ්ද නැංවීමේ උපකරණ අනිසි ලෙස භාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොලිසිය සදහන් කරයි.

අද (30) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ, ශබ්ද දූෂණය යනු ළදරුවන්, පාසල් දරුවන්, වැඩිහිටියන් සහ රෝගීන්ගේ සෞඛ්‍යයට මෙන්ම මානසික සුවයට දැඩි බලපෑමක් එල්ල කරන බරපතල තත්ත්වයක් බවට පත්ව ඇති බවයි.

38/2005 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව, ශබ්ද උපකරණ මඟින් මහජනතාවට පීඩා හෝ අපහසුතා ඇති වන අවස්ථාවලදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට බලය ඇත. එවැනි සිදුවීම් දණ්ඩ නීති සංග්‍රහයේ 261 වගන්තිය යටතේ මහජන අපරාධයක් (Public Nuisance) ලෙස සැලකිය හැකිය.

පොලිස් ආඥාපනත යටතේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා රාත්‍රී 10:00 සිට පසුදින උදෑසන 6:00 දක්වා සාමාන්‍යයෙන් අවසර ලබා නොදේ.

ආගමික කටයුතු හෝ විශේෂ අවස්ථා සඳහා නීත්‍යානුකූලව අදාළ තත්ත්වයන් සලකා බලා බලපත්‍ර ලබා දිය හැකි නමුත්, බලපත්‍රලාභීන් එහි සඳහන් දිනය, වේලාව සහ සියලු කොන්දේසි දැඩි ලෙස පිළිපැදිය යුතුය. ඒ අනුව ආගමික කටයුතු, සාද හෝ වෙන ඕනෑම හේතුවක් සදහන් කරමින් අවසර නොමැතිව ශබ්ද දූෂනය කරන්නේ නම් පොලීසියට දැනුම් දීමේ අවස්ථාව හිමි වනු ඇත.

බලපත්‍රයක් ලබාගෙන තිබුණද, ශබ්දය අදාළ පරිශ්‍රයෙන් පිටතට ගොස් අවට නිවැසියන්ට හෝ මහජනතාවට බාධා වන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ නොහැක. උදෑසන 6:00 සහ රාත්‍රී 10:00 අතර විශේෂ අවස්ථා සඳහාද මෙම නීතිය පොදු වේ.

පොලිසිය විසින් අවසර ලත් ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් යොදවන අතර, මහජන පැමිණිල්ලක් ලැබුණු විට අදාළ ස්ථානය පරීක්ෂා කරනු ලැබේ. එහිදී ශබ්ද දූෂණයක් හෝ මහජන පීඩාවක් සිදුවන බව තහවුරු වුවහොත්, එම කටයුතු වහාම නතර කරන ලෙස උපදෙස් දෙනු ඇත.

පොලිස් උපදෙස් නොසලකා කටයුතු සිදුවුවහොත්, ශබ්ද උපකරණ පොලිස් භාරයට ගැනීම ඇතුළු පවතින නීති යටතේ දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරයි.

නීතිවිරෝධී ලෙස හෝ මහජන පීඩාවන අයුරින් අධික ශබ්ද මඟින් බාධා පමුණුවන අවස්ථා සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 118 හෝ 119 යන හදිසි ඇමතුම් අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading