පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දැනට නීතිමය බාධාවක් පවතින බවත්, එම නීතිමය බාධාව නිරාකරණය කර දීමෙන් පසු පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ හැකියාව සිය කොමිසමට ලැබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්එම්ඒඑල් රත්නායක පැවසීය.
ඔහු ඒ බව පැවසුවේ සුදුසු වේලාවට මැතිවරණ කොමිසම විසින් පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත් කරනු ඇති බවට ඊයේ (අගෝස්තු 24) යාපනයේදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමේදීය.
එමෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දුන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ සොයා බලා නිර්දේශ කිරීමට පාර්ලිමේන්තු කමිටුවක් පත්කර ඇති බවයි.
මේ අතර කළුතර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටච්චි පවසා තිබුනේ ඡන්දයක් ලඟ පාතකවත් නැති බව හා පළාත් සභා ඡන්දයක්ද නැති බවය.
