සමාගම්වල සැබෑ හිමිකරුවන් හැංගිලා සිටීම ගැන අලුත්ම රෙගුලාසි පාර්ලිමේන්තුවට!

සමාගම් පනතේ අර්ථලාභී අයිතිය සම්බන්ධ නනව රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

අගෝස්තු 24 වැනිදා පැවති කැබිනට් මණ්ඩල හමුවේ තීන්දු දැනුම් දීමේ මාධ්‍ය නිවේදනයට අනුව, 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ පැවති මෙම රෙගුලාසි සංශෝධනය කිරීමට නියමිතය.

සමාගම්වල අර්ථලාභී අයිතිය ලියාපදිංචි කිරීම සම්බන්ධ නෛතික අවශ්‍යතා ඇතුළත් කරමින් 2007 අංක 7 දරන සමාගම් පනත සංශෝධනය කිරීමට 2025 ජූලි 21 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි. ඒ අනුව, 2025 අංක 12 දරන සමාගම් (සංශෝධිත) පනත පාර්ලිමේන්තුව මඟින් සම්මත කරනු ලැබ ඇත.

එකී පනතේ විධිවිධාන අනුව සාදන ලද 2026 අංක 01 දරන සමාගම් (අර්ථලාභී අයිතිය) නියෝග, 2026 මාර්තු 21 දිනැති අංක 2480/48 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. අදාළ නියෝගයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා මෙලෙස ඉදිරිපත් කෙරෙනු ඇත.

අර්ථලාභී අයිතිය (Beneficial Ownership) යනු යම් සමාගමක හෝ දේපළක නීත්‍යානුකූල අයිතිකරු ලෙස ලේඛනවල වෙනත් අයෙකුගේ නමක් සඳහන් කර තිබියදී, එහි සැබෑ පාලනය සහ ලාභය භුක්ති විඳින පුද්ගලයාට ඇති අයිතියයි. මෙය වර්තමානයේ මූල්‍ය අපරාධ සඳහා බහුලව යොදා ගැනෙන උපක්‍රමයකි.

බොහෝ දූෂිත පුද්ගලයින්, අපරාධකරුවන් සහ බදු වංචාකරුවන් තම අනන්‍යතාවය සඟවා ගැනීම සඳහා ව්‍යාජ කඩදාසි සමාගම් නිර්මාණය කරති. ඉන්පසුව එම සමාගම්වල අධ්‍යක්ෂවරුන් ලෙස වෙනත් පාර්ශ්වයන්ගේ (උදාහරණයක් ලෙස ඥාතීන්, හිතවතුන් හෝ නීතිඥයින්ගේ) නම් යොදා, අපරාධ හෝ අයථා ක්‍රමවලින් උපයාගත් මුදල් එම සමාගම් හරහා නීත්‍යානුකූල ආයෝජන ලෙස පෙන්වනු ලබයි.

මෙමඟින් ඔවුන්ට ඉතා පහසුවෙන් කළු සල්ලි සුදු කිරීම (Money Laundering) මෙන්ම රජයට ගෙවිය යුතු බදු මුදල් පැහැර හැරීම ද සිදු කළ හැක. සැබෑ අර්ථලාභී අයිතිකරුවන් ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීම හරහා, මෙවැනි ව්‍යාජ සමාගම් පිටුපස සිටින සැබෑ අපරාධකරුවන් සහ වංචාකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමටත්, මූල්‍ය අපරාධ අවම කිරීමටත් නීතිමය පසුබිම සැකසේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading