ළමුන් රැකියා වල යෙදවීමට එරෙහිව මෙතෙක් පැවති දඩ මුදල රුපියල් දහ දාහක් වන අතර එම දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව ළමා හා කාන්තා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළා ය. ඊයේ (20 වැනිදා) පාර්ලිමේන්තුවේ දී ‘ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත’ දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ කරමින් ඇමැතිවරිය මේ බව සඳහන් කළා ය.
එහිදී අදහස් දක්වමින් ඇමැතිවරිය සඳහන් කළේ, වයස අවුරුදු 16ට අඩු දරුවන් රැකියා වල නියුක්ත කරවීම (සේවයේ යෙදවීම) සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, වයස අවුරුදු 16ත් 18ත් අතර දරුවන් අන්තරාකාරී රැකියාවල යෙදවීම ද නීතියෙන් තහනම් කර ඇති බවයි.
ශ්‍රී ලංකාව ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තියට අත්සන් තබා ඇති රටක් බැවින් ලංකාවෙන් ළමා ශ්‍රමය සහ ශ්‍රමය සූරාකෑම අවම කිරීම නොව, එය සම්පූර්ණයෙන්ම අවසන් කළ රාජ්‍යයක් බවට පත් කිරීම රජයේ අරමුණ බව ද ඇය පැවසුවා ය.
ඒ අනුව මෙතෙක් පැවති ලිහිල් නීති සහ අඩු දඩ මුදල් හේතුවෙන් ළමා ශ්‍රමය සූරාකෑමට ලක්වූ බව පෙන්වා දුන් ඇමැතිවරිය, නව සංශෝධන යටතේ රුපියල් ලක්ෂයේ දඩයට අමතරව අධිකරණය මගින් ලබා දෙන සෙසු දණ්ඩනයන් ද ක්‍රියාත්මක වන බව අවධාරණය කළා ය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ 1956 අංක 47 දරන ‘ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත’ යටතේ වයස අවුරුදු 16ත් 18ත් අතර තරුණ පිරිස් සේවයේ යෙදවීම තහනම් කර ඇති අන්තරායකාරී රැකියා ක්ෂේත්‍ර ලැයිස්තුව 51 සිට 71 දක්වා සංශෝධනය කර තිබේ.
මෙම ක්ෂේත්‍ර 71 ප්‍රධාන අංශ කිහිපයක් යටතේ වර්ගීකරණය කර දැක්විය හැකිය:
1. ගෘහ සේවය හා සමීප සේවා (අලුතින් එකතු වූ ක්ෂේත්‍ර)
- ගෘහ සේවය (Domestic Work)
- රූපලාවන්‍ය කටයුතු (Beauty Culture)
- පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපාංග සම්බන්ධ ඇතැම් අවදානම් සහිත රැකියා
- සමාජ ශාලා, මත්පැන් හල් (Liquor Bars) හෝ කැසිනෝ ශාලාවල සේවය
- සංචාරකයන් පිරිවරා යෑම සහ මාර්ගදේශකත්වය (Tour Guiding)
2. රසායනික හා හානිකර ද්‍රව්‍ය සම්බන්ධ රැකියා
- කෘමිනාශක, පලිබෝධනාශක නිෂ්පාදනය, භාවිතය හෝ ඉසීම
- ඊයම් (Lead), ඇස්බැස්ටස්, රසදිය, ක්‍රෝමියම්, නිකල් සහ කැඩ්මියම් වැනි හානිකර ද්‍රව්‍ය භාවිතය හෝ හැසිරවීම
- විකිරණශීලී ද්‍රව්‍ය (Radioactive materials) භාවිතය
- අන්තරායකාරී රසායනික ද්‍රව්‍ය නිපදවීම, හැසිරවීම, ප්‍රවාහනය හෝ විනාශ කිරීම
- හුනු ගල් පෝරණු (Limestone Kiln) ආශ්රිත රැකියා
3. නිෂ්පාදනය, පතල් හා භයානක යන්ත්‍ර සූත්‍ර
- පතල් කැණීම, ගල් අඟුරු නිපදවීම සහ පොළොව යට සිදුකරන රැකියා
- ගල් අඹරන යන්ත්‍ර (Stone Crushers) ආශ්‍රිතව හෝ ගල් කැඩීම/ප්‍රවාහනය
- වැලි ගොඩදැමීම (Sand Mining)
- චලනය වන යන්ත්‍ර සූත්‍ර පිරිසිදු කිරීම හෝ අලුත්වැඩියා කිරීම
- ගිනිකෙළි (Fireworks) සහ පුපුරණ ද්‍රව්‍ය නිපදවීම, ප්‍රවාහනය හෝ අලෙවිය
- වීදුරු උණු කිරීම හෝ කැපීම
- තඹ සහ පිත්තල භාණ්ඩ නිෂ්පාදනය
4. බර ඉසලීම සහ අනතුරුදායක පරිසරයන්
- මීටර් 1.5ට වඩා උස ස්ථානවල සුදුසු ආරක්ෂිත ක්‍රමවේද නොමැතිව සේවය කිරීම
- පිරිමින් සඳහා කිලෝග්‍රෑම් 8ට වැඩි සහ කාන්තාවන් සඳහා කිලෝග්‍රෑම් 5ට වැඩි බර එසවීම, තල්ලු කිරීම හෝ ඇදීම
- ගස් කැපීම හෝ ගස් නැගීම
- වනාන්තරවලින් දර එකතු කිරීම, පැලීම හෝ කැපීම
- ගොඩනැගිලි තීන්ත ආලේප කිරීම
5. සෞඛ්‍යයට සහ සදාචාරයට හානිකර රැකියා
- සතුන් මැරීම (සතුන් ඝාතනය) සහ මස් කැපීම
- මත්පැන්, දුම්කොළ සහ දුම්කොළ ආශ්රිත නිෂ්පාදන අලෙවිය, ප්‍රවාහනය හෝ නිෂ්පාදනය
- කුණු, අපද්‍රව්‍ය සහ මලපහ එකතු කිරීම හෝ නැසීම (Garbage and sewage collection)
- සම් පදම් කිරීම (Leather Tanning)
- ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදීම සහ දිය යට කිමිදීම (Diving)
- සන්නද්ධ ගැටුම් (Armed Conflict) ආශ්රිත කටයුතු
මෙම නීති සංශෝධන හරහා වයස අවුරුදු 16ට අඩු දරුවන් ඕනෑම සේවයක යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, 16–18 අතර දරුවන් ඉහත සඳහන් අනතුරුදායක ක්ෂේත්රවල යෙදවීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි.
