ළමයකු ලිංගික දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි ආකාරය පිළිබඳ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
එම නියෝගය ලබාදී ඇත්තේ අධිකරණ ආරක්ෂාව භාරව සිටින ස්ථානාධිපතිවරයාට වන අතර ඒ එම ළමා අපයෝජන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව අද (අගෝස්තු 21) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.
පල්ලේගම හේමරතන හිමි විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල්වීමට ඇති දොරටුවෙන් ඇතුල් වූ බවට මෙම ළමා අපයෝජන සිදුවීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ල ඉදිරිපත් කළ මාධ්‍යවේදී බිමල් රුහුණගේ වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරයා විසින් එම අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී ඇත.
එහිදී නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී ඇත්තේ මහේස්ත්‍රාත්වරයාට අධිකරණ භූමියට ඇතුල් වීම සඳහා ඇති දොරටුවෙන් හේමරතන හිමි ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලංංග ඉන්ද්‍රතිස්සගේ වාහනයෙන් අධිකරණයට පැමිණ ඇති බවය.
මීට පෙර එම නඩුව කැඳවූ අවස්ථාවේදීත් හේමරතන හිමි සිය නීතිඥයාගේ වාහනයේ නැඟී විනිසුරුවරයාට ඇතුල් වීම සඳහා ඇති එම දොරටුවෙන් අධිකරණයට පැමිණ ඇති බවට චෝදනා එල්ල විය.
මෙම නඩුව යළි 2027 ජනවාරි 08 දින කැඳවීමට නියම කර ඇත.
